බුලත් මිල අධික ලෙස ඉහළට
බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ බුලත් හා පුවක් වෙළඳාම් කටයුතු අඩාල වී ඇති බව බුලත් පුවක් වෙළඳසැල් හිමිකරුවෝ පවසති.
පීදුණු බුලත් කොළයක් රුපියල් 12කටත්, රැහැන් බුලත් කොළයක් රුපියල් 10කටත්, කුඩා බුලත් කොළයක් රුපියල් 6ක තොග මිලකටත් පවතින බව ඔවුන් සඳහන් කරයි. ඒ අනුව, බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රුපියල් 480ක මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවද වෙළෙන්දෝ පවසති.
මේ අතර, පුවක් ගෙඩියක මිල රුපියල් 8-10ත් අතර ඉහළ යෑම හේතුවෙන් බුලත් විටක මිල රුපියල් 70, 80, හෝ 100ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
බුලත්වලට යම් රෝගයක් වැළඳීම හේතුවෙන් බුලත් ඵලදාව අඩුවීමත්, ඉල්ලුමට සරිලන තරම් සැපයුමක් නොමැතිවීමත් මිල ඉහළ යෑමට හේතු වී ඇති බව වෙළෙන්දෝ සඳහන් කරති. එසේම, මේ දිනවල පුවක් ඵලදාව සිදු නොවීම නිසා පුවක් ගෙඩියක මිල රුපියල් 8-10 දක්වා ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් අලෙවිකරුවෝ පවසති.
මෙම තත්ත්වය හේතුවෙන් බුලත් හා පුවක් වෙළඳාම් පහළ වැටී ඇති බවද ඔවුන් අවධාරණය කරයි.