ඊළඟ මොසාඩ් ප්‍රධානියා ලෙස බෙන්ජමින් ළඟම කෙනාව පත්වේ
ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශයේ නව අධ්යක්ෂවරයා ලෙස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රෝමන් ගොෆ්මන් පත් කිරීමට අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත්තේ මෙම පත්කිරීම ජූනි 2 දින සිට ක්‍රියාත්මක වන අතර වසර පහක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ සභාපති අෂර් ගෲනිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ පත්වීම් උපදේශක කමිටුවේ අනුමැතියෙන් පසුව මෙම තීරණය නිවේදනය කර ඇති බවද සඳහන් වේ.
කෙසේවෙතත්, 2022 වසරේදී ගෝලාන් කඳුකරයේ යුද හමුදා බලසේනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් එම කමිටු වාර්තාවේ වැඩි අවධානයක් යොමු වී තිබූ බව වාර්තා වේ.
එහිදී ඉරානය, හිස්බුල්ලා සහ හමාස් සංවිධානවලට එරෙහිව සිදු කළ අරාබි භාෂා ප්‍රචාරණ ව්‍යාපාරයකට 17 හැවිරිදි බාල වයස්කරුවෙකු යොදා ගැනීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
අදාළ තරුණයා පසුව රහස්‍ය තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ චෝදනාව මත ආරක්ෂක අංශ භාරයේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි බවද සඳහන් වේ.
කෙසේවෙතත් රෝමන් ගොෆ්මන් පවසා ඇත්තේ තමා එම තරුණයාගේ වයස නොදැන සිටි බවත්, සමාජ මාධ්‍ය සඳහා ලබා දුන්නේ රහස්‍ය නොවන තොරතුරු පමණක් බවත්ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයා ඔහු නුසුදුසු බව නිර්දේශ කළද, කමිටුවේ අනෙක් සාමාජිකයන් තිදෙනා එම සිදුවීම තනතුරට බාධාවක් නොවන බවට නිගමනය කර ඇති බවද වාර්තා වේ.
නව පත්කිරීමත් සමඟ රෝමන් ගොෆ්මන්, වත්මන් මොසාඩ් ප්‍රධානී ඩේවිඩ් බාර්නියාගේ අනුප්‍රාප්තිකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
බෙලරුස් හි උපත ලබා 1990 දී වයස අවුරුදු 14 දී ඊශ්‍රායලයට සංක්‍රමණය වූ ඔහු, 2023 ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරය අතරතුර සටන් බිමේදී බරපතළ ලෙස තුවාල ලබා ඇති බවද වාර්තා වේ.