AI වලින් ළමයිනේ නිරුවත් රූප හදලා... දරුවන් ගැන අවධානයෙන් ඉන්න !
දැරියන් 50 කට අධික පිරිසකට ලිංගික හිංසන සිදු කළ 32 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අදාළ සැකකරු කාන්තා හා ළමාරක්ෂක අධිකාරියේ ඔන්ලයින් සේවාවෙන් බව පවසා දැරියන් රවටා ඇති බවයි සඳහන් වන්නේ.
නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ හුවමාරු වන බැවින් ළමා අධිකාරියේ සේවාව හරහා එම ඡායාරූප ඉවත් කර ගැනීමට හැකි බව දන්වා බාල වයස්කාර දැරියන්ගේ පෞද්ගලික තොරතුරු හා සාමාන්‍ය ඡායාරූප වීඩියෝ දර්ශන සූක්ෂමව ගෙත්වා ගෙන ඇත. ඒවා කෘත්‍රිම බුද්ධිය හරහා නිරුවත් ලෙස සකස් කර එම දැරියන්ට යවා දැරියන් 50කට අධික ප්‍රමාණයක් ලිංගික හිංසනයට ලක් කර ඇතැයි මෙතෙක් කළ පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නරේන්ද්‍රසිංහ උයන, සෙංගල්ල, මහනුවර ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි. මෙම සැකකරු සම්බන්ධ ලිංගික හිංසන සිදුවීම් රැසක් වාර්තා වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම සැකකරු මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ 2027 හා ඊට ආසන්න වර්ෂවල උසස් පෙළ සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් එක්වන ටෙලිග්‍රෑම් සමූහයන් වෙත සූක්ෂමව ඇතුළු වී දුරකථන අංක ලබා ගෙන ඇති බවද වාර්තා වේ.
ළමයින්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ඇති බවට දන්වා ඒවා ඉවත් කර ගන්නා ආකාරය දැනුම් දී එම සැකකරු ළමා අධිකාරියේ බව ඇඟවෙන වංචනික ගිණුමට මෙම ළමයින් ඇතුළත් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
සැකකරු, උපකාරක පන්ති කරන ගුරුවරුන්ගේ මාර්ගගත උපකාරක පන්ති වෙත පිවිස ගැහැනු දරුවන්ගේ දුරකථන අංක ලබා ගනිමින් දීර්ඝ කාලයක සිට එම ක්‍රියාවේ නිරතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබේ.
ජාතික හැඳුනුම්පත් නොමැති බාලවයස්කාර ළමයින්ගේ නිරුවත් ඡායාරූප වීඩියෝ දර්ශන සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර එම දරුවන්ගේ වයස තහවුරු කර ගැනීම සඳහා ඔවුන් ඉගෙන ගන්නා ශ්‍රේණියේ පෙළ පොත සමඟ ඡායාරූපයක් ලබා ගැනීමටද මෙම සැකකරු කටයුතු කර ඇත .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙලෙස ලබා ගන්නා ඡායාරූප මුදලට අළෙවි කිරීම හෝ වෙනත් අරමුණු වෙනුවෙන් භාවිත කර ඇතිද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි .
