පුළුවන් නම් පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් ආයේ කියලා බලන්න.. පා. මන්ත්‍රී අසිතගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා නිතීඥ සංගමයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා නිතීඥ සංගමය මඟින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් අද (24) දින සිදු කළ අසත්‍ය සහ පදනම් රහිත ප්‍රකාශයක් බව සඳහන් කරයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කර ඇත්තේ, මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජනතාව නොමග යැවීමට සිදු කරන උත්සහයක් බවටයි.
එසේම මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂ සහගත චේතනාවෙන් කරන ලද ඒවා බවට නීතිඥ සංගමය සඳහන් කරයි. එම නිවේදනයේ තමන් වෙත එල්ල කරනු ලබන දේශපාලන ප්‍රහාර සාර්ථක නොවනු ඇති බව ද දක්වා ඇත.
ඊට අමතරව ඔවුන් පෙන්වා දෙන්නේ ලංකාවේ නීති ප්‍රජාව එකමුතුව සිටින අතර එහි ස්වාධීනත්වයට සහ අඛණ්ඩතාවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවයි.
මේ අතර වරප්‍රසාදවලට මුවාවී සිදු කරනු ලබන මෙම අසත්‍ය ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටත යළි ප්‍රකාශ කරන ලෙසට නීතිඥ සංගමය, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝගයක් ද එල්ල කර ඇත.