ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු ගැන නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත තවත් ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් කඩිනමින් පිරවීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.
මීට පෙරද, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.
එම ලිපියට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන් කරමින්, තමන් මතු කළ කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙස නීතිඥ සංගමය නව ලිපියෙන් ඉල්ලා ඇත. විනිසුරු පුරප්පාඩු දිගු කාලයක් පුරා පැවතීම අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසයට බලපෑම් ඇති කළ හැකි බවද එම සංගමය පෙන්වා දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු පුරප්පාඩුව ඇති වූයේ 2025 ජුනි 20 වැනිදා විනිසුරු ගාමිණී අමරසේකර මහතා විශ්‍රාම යාමෙන් පසුවය. ඉන් අනතුරුව ජනාධිපති නීතීඥ එස්. තුරෙයිරාජා, කුමුදිනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් විශ්‍රාම යාමත් සමඟ එම අධිකරණයේ පුරප්පාඩු සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ.
අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු 4ක්ද මේ වන තෙක් පුරවා නොමැති බව නීතිඥ සංගමය සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු බවත්, එම ව්‍යවස්ථාමය වගකීම කාර්යක්ෂමව ඉටු කිරීම වැදගත් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර තිබේ.