තඹුත්තේගම ජනතාවගේ සිහිනය සැබෑ කරමින් පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට
තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අංගමුව ජලාශය ජල මූලාශ්‍රය ලෙස භාවිත කරමින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මඟින් තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත හා පිරිසිදු පානීය ජලය ලබාදීම අරමුණු කර තිබේ.
එහි ප්‍රතිලාභ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සමඟ තලාව සහ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කොටස් වෙතද හිමි වේ. ග්‍රාම නිලධාරී වසම් 42ක් ආවරණය කරන මෙම ව්‍යාපෘතියෙන් පුද්ගලයින් 91,810 දෙනෙකුට ප්‍රතිලාභ ලැබෙන අතර, නව ජල සම්බන්ධතා 25,000ක් ද ලබාදී ඇත.
එවාගේම අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු අද කැබිතිගොල්ලෑව ජල සම්පාදන පරිශ්‍රයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
එම ව්‍යාපෘතිය මඟින් පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 119ක් වෙත ජල සැපයුම් සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
2034 වසර වන විට පුද්ගලයින් 170,951 දෙනෙකුට ආරක්ෂිත පානීය ජලය ලබාදීම සහ නිවාස 50,000කට නව ජල සම්බන්ධතා ලබාදීම එහි ප්‍රධාන ඉලක්කයන් වේ.
ඉහළ ෆ්ලෝරයිඩ් අන්තර්ගත භූගත ජලය භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු, විශේෂයෙන් නිදන්ගත වකුගඩු රෝගය අවම කිරීම සඳහාද මෙම ව්‍යාපෘතිය සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වේ.