අධික උෂ්ණත්වය සමඟ ඕස්ට්‍රේලියාවේ පැත්තක් ගිනියම් වෙයි - වහාම ඉවත් වෙන්නැයි දන්වයි
දකුණු දිග ඕස්ට්‍රේලියාවේ පුරා වාර්තාගත දැඩි උණුසුම් කාලගුණයක් සහ ලැව්ගිනි අවදානමක් පවතින බවට වාර්තා වේ.
ඒ අනුව අද (27) දින ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල සෙල්සියස් අංශක 50 ක පමණ අධික උෂ්ණත්වයක් වාර්තා වනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ දැනටමත් පැතිර යන ලැව්ගිනි නිසා නිවාස ගණනාවක් විනාශ වී ඇත.
එමෙන්ම නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයක පදිංචිකරුවන්ට ඉවත් වීමට සිදුව තිබෙනවා. අද දිනයේදී වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාවේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද සඳහන්.
එනිසා වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සඳහා පූර්ණ ගිනි තහනමක් ද පනවා ඇත.
මේ අතර කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව, මෙල්බර්න් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා ඉහළ යා හැකි බව සඳහන්.
එය 2009 වසරේ පැවති ‘කළු සෙනසුරාදා’ ලැව්ගිනි සමයෙන් අනතුරුව වාර්තා වන ඉහළම උෂ්ණත්වය වනු ඇති බව වාර්තා වේ.
මිල්ඩුරා හි උෂ්ණත්වය අංශක 49 දක්වාත්, නිව් සවුත් වේල්ස් හි බ්‍රෝකන් හිල් හි අංශක 47 දක්වාත් ඉහළ ගොස් නව වාර්තා පිහිටුවනු ඇතැයි බලාපොරොත්තු වන බව පවසයි.
එහෙත් මිල්ඩුරා හි උෂ්ණත්වය අංශක 49 ට ළඟා වුවහොත්, එය වික්ටෝරියා ප්‍රාන්තයේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වනු ඇති බවට ද කාලගුණ විද්‍යාඥ ඩීන් නරමෝර් පවසයි. මේ අතර ඊයේ ඇඩිලේඩ් නුවර උෂ්ණත්වය අංශක 44.7 ක් වශයෙන් වාර්තා වූ අතර, එය 2006 වසරේ පැවති වාර්තාව අභිබවා යාමක් විය.
සෙඩූනා හි උෂ්ණත්වය අංශක 49 දක්වාත්, නිව් සවුත් වේල්ස් හි ඩබෝ නගරයේ උෂ්ණත්වය අංශක 46.1 දක්වාත් ඉහළ ගොස් නව ජනවාරි මාසයේ වාර්තා පිහිටුවා ඇත.
මේ අතර කේප් ඔට්වේ කලාපයේ පදිංචිකරුවන්ට ඊයේ දිනයේදී වහාම ඉවත් වන මෙන් නියෝග නිකුත් කර තිබෙනවා.
පොලිසිය සහ හදිසි සේවා අංශ මඟින් නිවාස 1,100 ක පමණ දොරට තට්ටු කර පදිංචිකරුවන්ට දන්වා ඇත්තේ "පොලිසිය එනතුරු රැඳී නොසිට, අදම ඉවත් වන්න" ලෙසයි.
තවද කාලගුණ අංශ මෙල්බර්න් නුවරට අඟහරුවාදා සවස් කාලයේදී තද සුළං සහ වියළි අකුණු සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව ද සඳහන් කරයි.
එමෙන්ම ලැව්ගිනි ඉතා වේගයෙන් සහ අනපේක්ෂිත ආකාරයට පැතිර යා හැකි බැවින්, Aire Valley, Barongarook, Gellibrand, Forrest ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට වහාම ආරක්ෂිත පියවර ගන්නා මෙන් දැනුම් දී තිබුණා.
එසේම අධික රස්නය නිසා දරුවන් 11 දෙනෙකු මෝටර් රථ තුළ සිරවී සිටීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව ගිලන්රථ සේවා ප්‍රකාශ කරයි.
ඒ අනුව බලධාරීන් අවවාද කරන්නේ කිසිම විටක දරුවන්, සුරතල් සතුන් හෝ වැඩිහිටියන් වාහන තුළ තනි නොකරන ලෙසයි. කෙසේ වෙතත් මෙම දැඩි උණුසුම් තත්ත්වය සති අන්තය වන තෙක් පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.