හෙට උදේ 8 ට දිවයිනේ පුරා ක්රියාත්මක වැඩසටහනක් - සියලුම ග්රාම නිලධාරී වසම් ආවරණය කරයි
පවිත්ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර තේමාවෙන් ‘අත්තම’ ජාතික පවිත්රතා දින වැඩසටහන හෙට (08) දින පෙ.ව. 8.00ට දිවයින පුරා පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව රට පුරා පිහිටි සියලුම ග්රාම නිලධාරී වසම් ආවරණය වන ආකාරයට නිල වශයෙන් මෙම වැඩසටහන ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇති බව සඳහන්.
මෙම ජාතික පුරවැසි මෙහෙවර ක්රියාත්මක වන්නේ පරිසර ප්රජා සහජීවනය සහ පවිත්ර දේශයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින්.
එසේම මෙම වැඩසටහන ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය, ප්රජා ශක්ති ලේකම් කාර්යාලය සහ ශ්රී ලංකා යුද හමුදාව එක්ව සංවිධාන කරයි.
එමෙන්ම ප්රජා ශක්ති කමිටුවල සක්රිය මැදිහත්වීම සහිතව, ප්රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ දිස්ත්රික්ක විසිපහම ආවරණය වන ලෙස ප්රධාන වැඩසටහන් හා ප්රාදේශීය වැඩසටහන් ක්රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත.
මෙම වැඩසටහනේ ප්රධාන අරමුණක් ලෙස ප්රජාව අතර සහයෝගීතාව සහ සාම්ප්රදායික ශ්රම හුවමාරු සංකල්පය නැවතත් තරුණ පරපුර තුළ ප්රවර්ධනය කිරීම දක්වයි.
එසේම පොදු දේපළ කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කරමින් ඌන උපයෝජිත පොදු පහසුකම් සංවර්ධනය කිරීමත්, මහා මාර්ග හා වෙළඳපොළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදුව තබා ගනිමින් දැකුම්කලු පරිසරයක් නිර්මාණය කිරීමත් මෙමඟින් අපේක්ෂා කරයි.