රටම බලා සිටින අනෝජන් සිවරාසන්ගේ සිද්ධිය තීරණාත්මක තැනකට - අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාස වෙනුවෙන් සකස් කළ අභියාචනය අද (11) එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ නීතිඥ කණ්ඩායම්වල ඒකාබද්ධ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
අභියාචනය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ නීතිඥ කණ්ඩායමක් සහ සෞදි නීතිඥවරුන් අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතාගේ සම්බන්ධීකරණයෙන් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම කටයුතු සංවිධානය කර ඇත.
සමාජ මාධ්‍ය ජාලයක ආගමික නායකයෙකුට අපහාස වන ආකාරයේ සටහනක් පළ කිරීමේ චෝදනාවක් හේතුවෙන් සෞදි අභියාචනාධිකරණයක් විසින් අනෝජන් සිවරාසට මරණ දඬුවම නියම කර තිබේ.
මීට පෙර පහළ අධිකරණයක් විසින් ඔහුට වසර පහක සිරදඬුවමක් නියම කර තිබුණද, පසුව අභියාචනාධිකරණය එම තීන්දුව වෙනස් කර මරණ දඬුවම පනවා ඇත.
අනෝජන්ගේ දඬුවම ඉවත් කර ගැනීම සඳහා පැවැත්වූ සාකච්ඡාවලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන මහත්වරු එක්ව තිබේ.
එම දූත කණ්ඩායමට ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු එම්.ටී. මොහොමඩ්, නීතිඥ ෆාරිස් ෆසාල් අබ්දුල් හෆීල් මොහොමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රියාස්ඩීන් සිල්මි යන අය ද ඇතුළත් වෙති.