"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි
කොටහේන මහල් නිවාසයේ සත්වැනි මහලින් පැන දිවි හානි කර ගත්තැයි කියන දැරියගේ මව, තම දියණිය පාසලේ ගණිත ගුරුවරයා ගණිත කාමරයේ දී තමන් සමග වැරැදි විදියට හැසුරුණු බව පසුගිය නොවැම්බර් මාසයේ දී පැවසූ බව කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා හමුවේ සාක්ෂි දෙමින් පැවසුවාය.
කොටහේන මහල් නිවාස සංකීර්ණයේ සත්වැනි මහලින් පසුගිය අප්‍රේල් 29 වැනිදා වැටී මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් පැවැති මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගයේ ඩබ්ලිව්.එස්. කුමාරි නමැති මව මෙසේ සාක්ෂි දුන්නාය.
කොටහේන පොලිසියේ පොලිස් කොස්තාපල් කැලුම් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් කුමාරි මහත්මිය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළාය. "අපි මහල් නිවාස සංකීරණයට ඇවිත් මාස එකොළහක් පමණ වෙනවා.
මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. පුතාට අවුරුදු දෙක හමාරයි, දුවට අවුරුදු පහළොවයි
මගේ දුව මෙම සිද්ධිය නිසා අධ්‍යාපනය ලැබූ පාසලෙන් ඉවත්ව කොටහේන ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනයට යොමු වුණා," යැයි කුමාරි මහත්මිය පැවසුවාය.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ 2024 වර්ෂයේ 10 පන්තියේ ගණිත ගුරුවරයා වැරැදි විදිහට ඇගේ දුව සමඟ හැසිරී ඇති බවත්, ගණිත භාර ගුරුවරයා අතින් ගණිත කාමරේ දී දුව අතවරයකට ලක්වී ඇති බවත්ය.
"2024 නොවැම්බර් 12 වැනිදා 'අම්මා මට දෙයක් කියන්න තියෙනවා, අම්මා මං ගැන වැරදියට හිතන්න එපා' යනුවෙන් දියණිය මට කීවා. ඊට සතියකට දෙකකට පෙරත් මෙහෙම දෙයක් කියන්න තියෙනවා කියලා කිව්වට මම ඒ ගැන ගණන් ගත්තෙ නැති හින්දා අහගන්න බැරි වුණා," යැයි ඇය පැවසුවාය.
දැරියගේ මව විදුහල්පතිනිය හමුවී මේ බව විමසා සිටි අවස්ථාවේ දී, විදුහල්පතිනිය පවසා ඇත්තේ එම සිද්ධිය සිදු වූ යැයි දුව පවසන දිනයේ ගණිත ගුරුවරයා සේවය සඳහා පාසලට පැමිණ නොමැති බවයි.
"මේ දරුවා චිත්‍රපටි බලා මනසින් සිතා ගන්නා ලද දෙයක් කියන බව විදුහල්පතිනිය මට කීවා," යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය. සිද්ධිය වූ බවට දියණිය සඳහන් කර ඇත්තේ 2024 ඔක්තෝබර් 22 වැනි දිනය බවත්, එම දිනය වෙනස් ලෙසත් නොකරන බව විදුහල්පතිනිය දැනුම් දුන් බව මව පැවසුවාය.
දුව පාසල් යෑමට අකැමැත්ත දැක්වීම හේතුවෙන් මානසික වෛද්‍යවරයකු හමුවීමට ගිය බව විදුහල්පතිනියට දැනුම් දුන් බව ද ඇය පැවසුවාය.
"ඇය එම අවස්ථාවේ දී දුවගේ බෙහෙත් තුණ්ඩුව අරගෙන ඡායාරූපයක් ගහ ගත්තා. ඒ අවස්ථාවේ දී අදාළ ගණිත ගුරුවරයා හමුවුණා. ඔහු ප්‍රකාශ කර සිටියේ 'මම කිසිදු වරදක් කළේ නැහැ, කළා නම් සාක්ෂි ගෙනැත් පෙන්නන්න' කියලා.
ඒ අවස්ථාවේ දී මටයි දරුවාටයි දෝෂාරෝපණය කළා," යනුවෙන් කුමාරි මහත්මිය අධිකරණයට පැවසුවාය.
දුව පාසල් යෑමට ආදිමදි කරන නිසා පෞද්ගලික රෝහලක මානසික වෛද්‍යවරයකුට දරුවාව පෙන්නුවා. මෙම සිදුවීම වීමෙන් පසු සිද්ධිය පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළා.
"දරුවා යහපත් තත්වයට පත් වූ බැවින් පසුගිය ජනවාරි සිට ප්‍රතිකාර ගත්තේ නැහැ. පසුව අතවරයට ලක් වූ බවට වෛද්‍යවරයා දැනුවත් කිරීමෙන් පසුව නැවත ප්‍රතිකාර ගැනීමට ක්‍රියා කළා," යැයි ඇය පැවසුවාය.
වෛද්‍යවරයා සමග කතා කිරීමෙන් අනතුරුව සිද්ධිය දරුවා මනසින් සිතා ගත් සිදුවීමක් නොව සත්‍ය සිදුවීමක් බවට අනාවරණය වූ බව මව පැවසුවාය.
"මානසික වෛද්‍යවරයා කතාකර 'මියගිය සිසුවා මවා ගත්ත දෙයක් නොවේ. වහාම ගිහින් පොලිසියට පැමිණිලි කරන්න' කියා ලිපියක් දුන්නා," යැයි ඇය පැවසුවාය.
ඉන්පසු දරුවා රැගෙන සොයිසා රෝහලට ගොස්, දවස් දෙකක් තියාගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, අනතුරුව 'ලේඩි රිප්ගේ' රෝහලට යවා ඇත.
"දරුවා මනසින් සිතාගත් දෙයක් නොවේ, මෙය ඇත්තටම සිදුවූ දෙයක් බව අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළා," යැයි කුමාරි මහත්මිය අධිකරණයට පැවසුවාය. අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළ පරිදි දරුවා එම පාසලෙන් ඉවත් කරගෙන වෙන පාසලකට යොමු කළ නමුත්, ඒ පාසලේ සියලු දෙනාත් මෙම සිද්ධිය ගැන දැනගෙන සිටි බව මව පැවසුවාය.
"උපකාරක පන්ති වෙත ගොස් සිටිය දී එම ආයතනයේ අයිතිකරු මෙම දරුවාට නඩුවක් ඇති බැවින් පන්තියට නොවන ලෙසට ද සඳහන් කර තිබෙනවා. 'මම ජීවත් වෙන්න කැමති නැහැ' කියලා දරුවා නිතරම කිව්වා," යැයි ඇය හඬමින් පැවසුවාය.
මහල් නිවාස සංකීර්ණයේ සභාපති කරුපයියා සතිස් කුමාර් පැවසූ අන්දමට, සිද්ධිය වීමට පැයකට කලින් යාළුවකුට කතා කිරීමට අවශ්‍ය යැයි කියා දැරිය මහල් නිවාසයේ ආරක්ෂක නිලධාරියාට පවසා ඇත. එහෙත් දුරකථනය නොදෙන ලෙස නිවැසියකු සංඥා කළ බැවින් ආරක්ෂක නිලධාරියා ඇයට දුරකථනය දී නොමැත.
"2025 අප්‍රේල් 29 හවස 3.00ට පමණ වතුර මෝටරේ වැඩ කරන්නේ නැති නිසා එය පිළිසකර කරමින් සිටිය දී එක පාරම ලොකු ශබ්දයක් ආවා, වාහන සද්දයක් වගේ ඇහුණේ. මම ගිහින් බලද්දී ළමයෙක් වැටිලා හිටියා," යැයි සතිස් කුමාර් මහතා පැවසුවාය.
ඔහු තවදුරටත් පැවසුවේ මහල් නිවාස සංකීරණය නිවාස 22කින් සමන්විත වන අතර, එය තට්ටු හයකින් යුක්ත බවත්, ලිෆ්ට් දෙකක් ඇති බවත්ය. "උඩුමහලට ඇතුළුවන තැන යකඩින් සාදන ලද ගේට්ටුවක් තිබෙනවා.
හැබැයි ඒක ලොක් කරලා නැහැ. මරණයට පත් පාසල් සිසුවිය මම මීට පෙර අවස්ථාවල දී දැක තිබෙනවා," යැයි ඔහු පැවසුවාය.
"දරුවා අසනීප තත්වයකින් පෙළුණ බව මම දැනගෙන සිටියේ නැහැ. දරුවා ප්ලැට් එකෙන් පහළට පැන්නට පස්සේ මම උඩුමහලට ගියා, එතකොට පාවහන් යුගලක් සහ රෝස පාට බෑග් එකක් තිබුණා," යැයි සභාපතිවරයා පැවසුවාය.
"මේ දරුවා මීට පෙර දිනවලත් උඩුමහලට ගිහින් එතන තිබෙන මේසේ උඩ වාඩිවෙලා රෑ 7.30ට විතර වෙනකම් ඉන්නවා, මරණය වීමට සුමානයකට පෙර මගේ ගෝලයෙක් දැක තියෙනවා. මරණය සිදුවීමට දවස් තුන හතරකට පෙර නිවසේ බැල්කනියේ සිට මෙම දරුවා රෑ දහයට විතර 'අම්මේ දොර අරින්න, අම්මේ දොර අරින්න' යනුවෙන් කෑ ගසන හඬක් මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාට ඇසී ඇති බව මට දැන ගන්නට ලැබුණා," යැයි සතිස් කුමාර් මහතා පැවසුවාය.
සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය මෙම මස 22 දිනට කල් තබා ඇත.
