නැවත දැනුම් දෙන තුරු සියලු ධීවර යාත්‍රා පිටත් වීම අවලංගුයි - බෙංගාල බොක්ක අවදානමේ
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින දැඩි අයහපත් කාලගුණය හේතුවෙන්, දිවයින වටා සියළුම ධීවර යාත්‍රා රැකියාව සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ වනවිට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අවදානම් සහිත මුහුදු සීමාව තුළ රැකියාවේ නිරතව සිටින ධීවරයන් හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට පිවිසීමටත්, සියලු ආරක්ෂිත පියවර අනුගමනය කිරීමටත් උපදෙස් ලබාදී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන හා ගුවන්විදුලි පණිවුඩවලටද දැඩි අවධානය යොමු කිරීමට එම නිවේදනයෙන් අවධාරණය කරයි. මෙම අතර, නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ (25) මධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුණි.
ඒ අනුව එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් ලෙස වර්ධනය විය හැකි බවත්, එම පද්ධතියෙන් ඇතිවන බලපෑම් හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත. නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි අතිදුරින් තද වැසි ඇතිවිය හැකි අතර, අනෙකුත් ප්‍රදේශවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.