ප්‍රහාරයකට ලක්වුණු ඉරාන යුද නෞකාවක මළ සිරුරු 80ක් සොයා ගැනේ
එක්සත් ජනපද සබ්මැරීනයක ටෝපිඩෝ ප්‍රහාරයකින් පසු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් ඉන්දියානු සාගරයේදී ගිලී ගිය ඉරාන නාවික යුධ නෞකාවක් වන IRIS Dena හිදී මේ දක්වා මළ සිරුරු 80කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ඉරාන යුධ නෞකාව ගිලී ගිය ස්ථානයේ සෝදිසි කිරීමේ සහ ගොඩගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බවයි.
සිදුවීම සිදුවන අවස්ථාවේ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 180කට අධික පිරිසක් සිටි බවත්, බලධාරීන් පවසන්නේ නාවිකයින් 100කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැකකෙරෙන අතර, තවත් කිහිප දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගනු ලැබූ ඉරාන නාවිකයින් 32 දෙනෙකු ගාල්ලේ වෙරළට ගෙනැවිත් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් සමහරෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ඉරානයේ Moudge-class frigate වර්ගයේ යුධ නෞකාවක් වන IRIS Dena, 2026 ජාත්‍යන්තර නාවික බලඇණි සමාලෝචනය (MILAN 2026) සඳහා ඉන්දියාවේ විශාකාපට්නම් වරායට ගොස් ආපසු ඉරානය බලා යමින් සිටියදී ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද නාවික හමුදාවේ සබ්මැරීනයකින් එල්ල වූ MK-48 ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මහතා විසින් තහවුරු කර තිබේ. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපද සබ්මැරීනයකින් එල්ල වූ පළමු ටෝපිඩෝ ප්‍රහාරය ලෙසත්, සබ්මැරීනයකින් ගිලී ගිය පළමු යුධ නෞකාව ලෙසත් ඉතිහාසගත වී ඇත.
අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්
අතුරුදන්වූ ඉතිරි නැවියන් සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙන අතර, ගලවාගැනීමේ සහ ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා කිහිපයක් යොදවා ඇති බවත්, මෙම සිදුවීම ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින යුදමය තත්ත්වය ඉන්දු - පැසිෆික් කලාපය දක්වා ව්‍යාප්ත වීමේ සංකේතයක් ලෙසත් විචාරකයන් පෙන්වා දෙයි.