පැයක් ඇතුළත අනතුරට පත් ඉරාන නැවේ හිටපු 180න් 35ක් බේරා ගයි - මුදවා ගැනීමෙන් පසු 30ක් රෝහලට[UPDATE]
ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්ව ඇති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු පමණ මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් මඟින් ගොඩබිමට රැගෙන එමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව ඉරාන නාවික හමුදාවට අයත් මෙම IRIS Dena නෞකාවේ 180ක පිරිසක් සිට ඇති බවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
එසේම පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු පැවසුවේ ඉන් 30 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන මේ වනවිට කරාපිටිය රෝහල වෙත රැගෙන විත් ඇති බවයි.
එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා නිරීක්ෂණ ගුවන් යානයක් යොමු කර ඇත.
මේ අතර අද (04) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ IRIS Dena නම් අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත බේරාගැනීම වගකීමක් වන බැවින් මෙම මෙහෙයුම සිදුකළ බවයි.
එම නෞකාව ගිලෙමින් පවතින බවට අද (04) අලුයම 5.00 ට පමණ නාවික හමුදාවට ලද පණිවුඩයක් අනුව පැයක් ඇතුළත කඩිනමින් ක්‍රියාත්මක වෙමින් අඳාළ බේරාගැනීමේ මෙහෙයුම් දියත් කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.