ගොඩනඟමු ශ්‍රී ලංකා තේමාව යටතේ සමරන 78වන නිදහස් දින උත්සවය අදයි
හැත්තෑ අට වැනි ජාතික නිදහස් දින උලෙළ මෙම වසරේ “ගොඩනඟමු ශ්‍රී ලංකා” තේමාව යටතේ ගෞරවයෙන් සහ අභිමානවත් අයුරින් සැමරීමට රජය සියලු කටයුතු සූදානම් කර තිබේ.
නිදහස් උලෙළේ තේමාව සහ නිල ලාංඡනය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගිය දින එළිදැක්විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් දින (04) උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. අදාළ පෙරහුරු වැඩසටහන් මෙම මස 30 වැනිදා දක්වා සිදුකෙරේ.
මෙම අවස්ථාවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, කොළඹ අවට පාසල්වලට අවහිර නොවන පරිදි පෙරහුරු වැඩසටහන් සංවිධානය කර තිබේ.
නිදහස් දින සමරු උලෙළට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් සාම්ප්‍රදායික ආචාර වෙඩිමුර උත්සවයක්, ගාලමුදොර ඉදිරි මුහුදු තීරයේදී, මධ්‍යහ්න 12ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙම ආචාර වෙඩිමුර, යුද නෞකා මත පිරිනැමෙන අතර, 1948 වර්ෂයේ ශ්‍රී ලංකාව නිදහස ලබාගත් දා සිට ජාතික නිදහස් දින සමගාමීව නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් 25 සාම්ප්‍රදායික ආචාර වෙඩිමුර පිරිනැමීම සිදු කරයි.
වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබුනේ එකසිය තිස් තුන් වසරක් (1815-1948) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. වසරක් පාසා නිදහස් දිනය අති උත්කර්ශවත් ආකාරයෙන් සැමරීම සිදු කරන අතර නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් රැසකට අද දිනයේ නිදහස හිමිවේ.
78 වන නිදහස් සමරුව හුදු උත්සවයක් බවට පත්කර නොගනිමින් අනාගතවාදී දැක්මකින් අනාගතය ගොඩනැගීමට මෙන්ම වඩා යහපත් රටක් නිර්මාණය කරගැනීමටත් හොද ආර්ථිකයක් නිර්මාණය කරගනිමින් එහි ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන යා හැකි රටක් නිර්මාණය කරගැනීමටද මෙම අවස්ථාව පාදක කරගනිමු යැයි රජය වශයෙන් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් සඳහන්.