රට පුරා බිහිසුණු මාරක අනතුරු රැසකින් කුඩා දැරියක්, පොලිස් නිලධාරියෙක් ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට
ජාඇල මිනුවන්ගොඩ මාර්ගයේ මොන්ටා හන්දිය අසලදී ජාඇල දෙස සිට මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව ඇත.
ඒ අනුව එම අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60ක් වූ කණුවන, ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
තවද දෙනියාය අකුරැස්ස මාර්ගයේ 61 වන කිලෝ මීටර් කනුව ආසන්නයේදී දෙනියාය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් ධාවනය වූ කැබ් රථයකට හා බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී බස් රථයේ ගැටී අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වේ.
අඳාළ අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා කොස්නිල්ගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසයි. එසේම කොල්ලුපිටිය කඩුවෙල මාර්ගයේ තලාහේන ප්‍රදේශයේදී ද මාරක අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
මාළඹේ දෙස සිට කොස්වත්ත දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව පසුපැදිකරු සමඟ මාර්ගයේ පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ඉදිරිපස ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.
එහිදී පැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා කොස්වත්ත රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත. කෙසේ වෙතත් අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ ශ්‍රී සුභූතිපුර, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මේ අතර යාපනය මන්නාරම මාර්ගයේ 18 කණුව අසලදී පුනරින් දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් ද මාරක අනතුරක් සිදුව ඇත.
එහිදී පැදිකරු හා පැදියෙහි ගමන් කළ ඔහුගේ ඥාති දැරියක් බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අඳාළ දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇය වයස අවුරුදු 05ක් වූ කොඩිගාමම් ප්‍රදේශයේ පදිංචිකාරියක්. එමෙන්ම පුත්තලම කොළඹ මාර්ගයේ සෙම්බැට්ට ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මිය ගොස් ඇත. ඒ පුත්තලම දෙසට ධාවනය වූ කාර් රථයක් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන්.
එම අනතුරින් කාර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව සඳහන්.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වූ සාලිය වැව, පුත්තලම ප්‍රදේශයේ පදිංචි කරුවලගස්වැව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් බව සඳහන්.