පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්
යතුරුපැදි පදවන්නන්ගේ සහ පසුපස ගමන්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) අලෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
ඒ අනුව එම අධිකාරිය සඳහන් කළේ මෙම නවතම මෙහෙයුම යටතේ දිස්ත්‍රික්ක 21ක සාර්ථක වැටලීම් 84ක් සිදු කර ඇති බවත්, ප්‍රමිතිය නොමැති හෙල්මට් 327කට අධික ප්‍රමාණයක් නඩු භාණ්ඩ වශයෙන් භාරයට ගෙන ඇති බවත් ය.
එමෙන්ම විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි කළ SLS ලාංඡනය නොමැති හෙල්මට් දිස්ත්‍රික්ක රැසකින් හඳුනාගෙන ඇති අතර, එකම හෝ සමාන වෙළෙඳ නාම සහිත හෙල්මට් දිස්ත්‍රික්ක කිහිපයකින් යළි යළිත් හමුවීම නිසා, සිල්ලර වෙළෙඳුන්ට එරෙහිව පමණක් නොව සැපයුම්කරු, බෙදාහරින්නා, ආනයනකරු සහ නිෂ්පාදකයා දක්වා සැපයුම් ජාලය හරහා විමර්ශන පුළුල් කිරීමට පියවර ගනිමින් පවතින බව සඳහන්.
මේ අතර ගම්පහ, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලින් SLS ස්ටිකර් අයුතු ආකාරයට භාවිත කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වී තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත්, එසේම ළමා සහ කුඩා ප්‍රමාණයේ හෙල්මට් අතරද SLS ලාංඡනය නොමැති නිෂ්පාදන හඳුනාගෙන තිබෙන අතර, යතුරුපැදි හෝ වෙනත් වාහන භාවිත කරන්නන්ට ආරක්ෂිත හිස්වැසුම් ලෙස ඒවා අලෙවි කරන්නේ නම් ඒවාද SLS 517 ප්‍රමිතියට අදාළව පරීක්ෂා කෙරෙන බවත් එම අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටියි.