මේ අයට උප්පැන්න සහතික නෑ - කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
අධිකරණ ක්‍රියාවලිය හරහා පරිවාස භාරයට පත්ව සිටින වයස අවුරුදු 16ට අඩු ළමුන් 3000කට ආසන්න පිරිසකට උප්පැන්න සහතික නොමැති බව හඳුනාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව ඇතැම් ළමුන්ට දෙමාපිය හා භාරකරු රැකවරණය නොමැති වීම මෙන්ම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම ගැටළුවට මුහුණ පා ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ප්‍රකාශ කළා.
එසේම මේ වන විට පැන නැගී ඇති ගැටළුව වන්නේ එම ළමුන් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීමේදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය උප්පැන්න සහතිකයක් නොමැති වීම බව ද වාර්තා වේ.
එමෙන්ම අමාත්‍යවරිය අවධාරණය කළේ මෙහිදී මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම්, සොරකම්, මිනිමැරුම්, පාතාල ක්‍රියාකාරකම්, විවිධ අපරාධමය වැරදිවලට සම්බන්ධ, කිසිදු දෙමාපිය රැකවරණයක් නොමැති වීම,මඟ තොටදී අතහැරදමා ගිය ළමුන් මෙන්ම විවිධ ලිංගික හිංසනයන්ට හා අතවරයන්ට ලක්ව අධිකරණ ක්‍රියාවලිය මඟින් පරිවාස භාරයට පත් කෙරුණු ළමුන් ඇති බවයි.
මෙම ළමුන්ගේ භාරකාරීත්වය හා මවුපිය රැකවරණය නොමැති වීම හේතුවෙන් අනුමාන වයස් සීමාව යටතේ උප්පැන්න සහතික ලබාදීමට සැලසුම් සකස් කර ඇති බව ද අමාත්‍යවරිය පැවසුවා.
ඇතැම් අවස්ථාවලදී මව හෝ පියා වෙනුවට අඳාළ පරිවාස රැඳවුම් මධ්‍යස්ථානය පිහිටි පළාත් කොමසාරිස්වරයාගේ නාමය යොදා ගැනීම පිළිබඳවත් රජයේ අවධානය යොමුවී ඇත.
එබැවින් මේ සම්බන්ධයෙන් රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඔස්සේ අනුමාන වයස් සීමාව යටතේ උප්පැන්න සහතිකයන් ලබාදීමට රජය කටයුතු කරමින් පවතී.
තවද මෙම පිරිස් වයස අවුරුදු 18 සම්පූර්ණ වී සමාජගත කිරීමේදී ඔවුන්ට පිළිගත් ආයතනවල රැකියාවක් ලබා ගැනීම ද ගැටළුවක් සේ ඇත්තේ එම ළමුන් පාසල් අධ්‍යාපනය නිමා කර ඇත්තේ පරිවාස ළමා රැඳවුම් මධ්‍යස්ථයානයන්හි පිහිටි පාසල් තුළ වීම බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වන විට රජයේ පරිවාස රැඳවුම් මධ්‍යස්ථාන 46කත් රාජ්‍ය නොවන සංවිධාන මඟින් පවත්වාගෙන යන පරිවාස ළමා රැඳුම් මධ්‍යස්ථාන 308ත් තරුණ තරුණියන් හා ළමුන් 9191ක් රඳවා සිටින බව සඳහන්.
ඉන් වයස අවුරුදු 16ට අඩු ළමුන් 3000කට ආසන්න පිරිසකට අනුමාන උප්පැන්න සහතික ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එම අමාත්‍යාංශය දැනටමත් කටයුතු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.