ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයින් 27ක් - ජයිශංකර් ලෝක් සභාවේදී කියයි
2026 ජූලි මස අවසන් වනවිට තමිල්නාඩු ධීවරයින් 27 දෙනෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි. ඉන්දීය ලෝක් සභාවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එමෙන්ම, තමිල්නාඩු ධීවරයින්ට අයත් බෝට්ටු 249ක් ද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ පවතින බව ඔහු අනාවරණය කළේය. ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සඳහා රජය ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන බව සඳහන් කළ ජයිශංකර් මහතා, අත්අඩංගුවට ගත් ධීවරයින් සහ බෝට්ටු කඩිනමින් නිදහස් කර නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩ සාකච්ඡා පවත්වන බවද පැවසීය.
මෙම ගැටලු විසඳීම සඳහා ද්විපාර්ශ්වික යාන්ත්‍රණ, රාජ්‍ය තාන්ත්‍රික මාර්ග සහ විවිධ නිල මට්ටමේ සාකච්ඡා භාවිත කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර, 2021 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සංඛ්‍යාව 1,554ක් බවද වාර්තා වේ. එම පිරිස අතරින් ධීවරයින් 10 දෙනෙකු පමණ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පහරදීම්වලට ලක්ව ඇති බවට ද සඳහන් වේ.