තත්ත්වය දරුණු අතට - රටම උණුසුම් වෙයි - මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය ගණන 19ක් දක්වා ඉහළට
මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 19ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මීගමුව මහ රෝහල සඳහන් කළේ මියගිය පුද්ගලයින්ගේ සහ තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරුවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවයි.
අද උදෑසන රැඳවියන් පිරිසක් සංවිධානාත්මකව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ වෙඩි තැබීමටද පියවර ගෙන තිබේ.
මෙම සිද්ධිය වාර්තා වූයේ ඊයේ (05) පස්වරුවේ බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව මධ්‍යම රාත්‍රිය වන විට තත්ත්වය පාලනය කර තිබූ පසුබිමකදීය. ඊයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 34 දෙනෙකු තුවාල ලැබූහ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ. පසුව කාන්තා සහ පිරිමි රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහලය මත නැග විරෝධතාවක නිරත වූ අතර, එහි සිවිලිම කඩාවැටීමෙන් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි. නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා තිබූ අතර, මධ්‍යම රාත්‍රිය වන විට තත්ත්වය පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක මහතා ප්‍රකාශ කළේය.