ඩෙංගු රතු නිවේදනයක් බස්නාහිර වටකරයි - කොළඹ 12,000 පනියි පැය 24ට 2,600ක්
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නවතම දත්ත අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,017ක් වාර්තා වී ඇති අතර, එය මෙරට සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20.43ක ප්‍රතිශතයක් වේ. මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 58,810ක් වාර්තා වී ඇති අතර, මරණ 39ක් ද සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබේ.
එමෙන්ම, ගත වූ පැය 24 තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 2,604ක් වාර්තා වී ඇති අතර, ජූලි මාසයේ පළමු දින තුන තුළ පමණක් රෝගීන් 3,422ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.
මාසික වාර්තා අනුව, ගත වූ මාස හත තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 21,547කි. ජනවාරි මාසයේදී රෝගීන් 7,866ක්, පෙබරවාරි මාසයේදී 5,721ක්, මාර්තු මාසයේදී 6,013ක්, අප්‍රේල් මාසයේදී 5,651ක් සහ මැයි මාසයේදී 8,590ක් වාර්තා වී තිබේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී සමස්ත රෝගීන්ගෙන් සියයට 52.50ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එහි රෝගීන් සංඛ්‍යාව 30,876කි. දකුණු පළාතෙන් රෝගීන් 9,316ක්, සබරගමුව පළාතෙන් 5,129ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 4,542ක් වාර්තා වී ඇත. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,017ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,740ක් වාර්තා වී ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,262ක්, කළුතරින් 3,955ක්, මහනුවරින් 3,575ක්, රත්නපුරෙන් 3,530ක් සහ ගාල්ලෙන් රෝගීන් 3,364ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි වාර්තා වී ඇත්තේ රෝගීන් 35ක් පමණි. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ වන විට ඩෙංගු දැඩි අවදානමක් පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 142ක් හඳුනාගෙන ඇති බවයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වහාම විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට මහජනතාව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.