හීලෑ අලින්ව රකින්න අලුත් පියවරක් - සුභසාධනයට සහ නියාමනයට අලුත් නීති ගෙන්න සුදානම්
හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කිරීම සහ අවශ්‍ය නව නීති හඳුන්වාදීම සඳහා අවධානය යොමු කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි. නව රජයේ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි හීලෑ අලි ඇතුන්ගේ සුභසාධනය හා නියාමනය ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් නියාමනය කිරීම සහ සංස්කෘතික කටයුතු සඳහා ඔවුන් යොදා ගැනීම සම්බන්ධයෙන් විධිමත් නීතිමය ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවේ පළමු රැස්වීම ඊයේ (16) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දේශීය සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරමින් සත්ව සුභසාධනය සහ වනජීවී සංරක්ෂණය තිරසාරව පවත්වාගෙන යාම සඳහා හීලෑ අලි ඇතුන් සම්බන්ධ නීති පද්ධතිය වඩාත් විධිමත් කිරීම අවශ්‍ය බවයි.
පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, නීති ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු) බුවනෙක හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීමට වනජීවී, සත්වෝද්‍යාන, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නීති සහ පරිසර ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් සාමාජිකයෝ සහභාගි වූහ.