මෝදි සහ විජේ වසර 12කට පෙර එකට සිටි ඡායාරූපයක් යළි සමාජ මාධ්‍ය කළඹයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජේ වසර 12කට පෙර එකට සිටි ඡායාරූපයක් යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. එම ඡායාරූපය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ එදා සිට අද දක්වා විජේගේ ජීවිතයේ සිදුව ඇති වෙනස්කම් හේතුවෙනි.
2014 අප්‍රේල් 16 වැනිදා මෝදි සිය X ගිණුමේ පළ කළ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ එවකට ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළුවෙකු වූ විජේ සමඟ ඔහු අසුන්ගෙන සිටින ආකාරයයි. එම ඡායාරූපය පළ කරමින් මෝදි, “දකුණේ ප්‍රකට සිනමා පෞරුෂයක් සමඟ” යනුවෙන් සඳහන් කර තිබිණි.
මෙවර ඡායාරූපය යළි පළ කළ X පරිශීලකයෙකු, “කිසිවිටෙකත් ජීවිතය අත්හරින්න එපා. වසර 12ක් තුළ බොහෝ දේ වෙනස් විය හැකියි” යන අදහසින් යුත් සටහනක් ද එක් කර තිබේ.
එම සටහනට දහස් ගණනක ප්‍රතිචාර සහ නැවත පළ කිරීම් ලැබී ඇති අතර, විජේගේ ජීවිතයේ සිදුවූ වෙනස්කම් පිළිබඳව පරිශීලකයන් අදහස් පළ කර ඇත.
එවකට දෙමළ සිනමාවේ ජනප්‍රිය තරුවක් වූ විජේ පසුව දේශපාලනයට පිවිස තමිළග වෙට්‍රි කලගම් (TVK) පක්ෂය ආරම්භ කළේය.
අනතුරුව ඔහු තමිල්නාඩු මහ ඇමති ධුරයට පත්වීමත් සමඟ සිනමාවේ සිට ප්‍රාන්තයේ ඉහළම දේශපාලන තනතුර දක්වා පැමිණි ඔහුගේ ගමන පිළිබඳව මෙම පැරණි ඡායාරූපය නැවතත් කතාබහට ලක්ව තිබේ.
අග්‍රාමාත්‍ය මෝදි ඉරිදා චෙන්නායි නුවරට පැමිණි අවස්ථාවේදී නායකයන් දෙදෙනා එකම වේදිකාවක පෙනී සිටීම ද මෙම ඡායාරූපය යළි අවධානයට ලක්වීමට හේතුවක් වී ඇත.
එම සංචාරයේදී ඉන්දීය රුපියල් කෝටි 13,000කට වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් මෝදි විසින් විවෘත කරනු ලැබූ අතර, තමිල්නාඩු මහ ඇමතිවරයා ද එම අවස්ථාවලට එක්ව සිටියේය.
එම ව්‍යාපෘති අතර චෙන්නායි මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියේ දෙවැනි අදියරට අයත් පූනමල්ලි–වඩපලනි කොටස විවෘත කිරීම ද ප්‍රධාන තැනක් ගත්තේය.
ඉන්දීය රුපියල් කෝටි 4,900ක පමණ වියදමින් ඉදිකර ඇති මෙම මාර්ග කොටසට කිලෝමීටර් 3.7ක ද්විත්ව තට්ටු ව්‍යුහයක් ද ඇතුළත් වන අතර, එය චෙන්නායි නුවර ප්‍රදේශ කිහිපයක ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ඡායාරූපය මීට පෙර ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබේ. විශේෂයෙන් 2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රචාරක සමයේදී ද එය යළිත් හුවමාරු වී ඇත.