ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් සුබ ආරංචියක්
මේ වනවිට හම්බන්තොට මහලේවායේ යල කන්නයේ ලුණු අස්වනු නෙළීමේ කටයුතු අද (28) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ විය.
මෙම අවස්ථාවට එක්වූ හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ටී. නන්දන තිලක මහතා සඳහන් කළේ, දේශීය ලුණු නිෂ්පාදනය ශක්තිමත් වෙමින් පවතින බැවින් ඉදිරියේදී මෙරටට ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බවයි.
එමෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් ඉන්ධන ඇතුළු අනෙකුත් ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ ගියද, දේශීය ලුණු මිලෙහි මෙතෙක් කිසිදු ඉහළ යාමක් සිදුව නොමැති බව සභාපතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව දැනට පවතින ඇස්තමේන්තුවලට අනුව පලටුපාන, බූන්දල සහ මහලේවාය යන ලේවායන් තුනෙන් ලුණු මෙට්‍රික් ටොන් 90,000 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට අපේක්ෂිතය.
දිවයිනේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය ලුණු නිෂ්පාදනයට හිතකර ලෙස බලපාන බැවින්, ඉදිරි කාලසීමාව තුළ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇති බව ටී. නන්දන තිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.