ලොව ප්‍රබලතම ජෙට් ප්‍රහාරක යානයක් කැලිෆෝනියාවේදී කඩා වැටෙයි - නියමුවා යානයෙන් ඉවත්වූ ආකාරය මෙන්න
ඇමරිකානු මැරීන් බළකායට අයත් F-35B ස්ටෙල්ත් ප්‍රහාරක ගුවන් යානයක් කැලිෆෝනියා ප්‍රාන්තයේදී අනතුරට ලක්ව ඇති අතර, එහි නියමුවා යානයෙන් ඉවත්ව (eject) ආරක්ෂිතව බේරී ඇති බව ඇමරිකානු මැරීන් බළකාය පවසයි.
මෙම යානය සිකුරාදා සැන් ඩියාගෝ නගරයේ මිරාමර් ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී අනතුරට පත්ව තිබේ. “නියමුවා යානයෙන් ඉවත්ව ඇති අතර, ජීවිතයට තර්ජනයක් නොවන තුවාල සඳහා පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදීමට ඔහු ස්ථාවර තත්ත්වයෙන් ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇත,” යනුවෙන් මැරීන් බළකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ප්‍රවෘත්ති හෙලිකොප්ටරයකින් ලබාගත් ගුවන් දර්ශනවල දැක්වෙන්නේ අනතුර සිදුවූ ප්‍රදේශයේ පස් සහිත භූමියකින් කළු දුමාරයක් ඉහළට නැඟෙන ආකාරයයි.
එම ස්ථානයේ හමුදා සහ ගිනි නිවන රථ කිහිපයක් මෙන්ම නිලධාරීන් රැසක්ද සිටිනු දැකගත හැකි විය. යානය කඩා වැටුණු ස්ථානය අවට ගිනි නිවීමේ කටයුතු සිදු කර ඇති අතර, බිම මත ගිනි නිවාරණ ද්‍රව්‍ය යොදා ඇති බවත්, අවම වශයෙන් එක් පුද්ගලයකු ගිනි නිවන හෝස් එකකින් සුන්බුන් වෙත ජලය ඉසින ආකාරයත් දර්ශනවල පෙනී ගියේය.
සැන් ඩියාගෝ ගිනි නිවන සේවයේ ප්‍රකාශිකා කැන්ඩස් හැඩ්ලි සඳහන් කළේ, අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ ඇති වූ වෘක්ෂලතා ගින්නක් පාලනය කිරීමට ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණි බවයි.
වැඩිදුර තොරතුරු සඳහා ඇය මිරාමර් මැරීන් ගුවන් කඳවුර වෙත යොමු කළාය. මිරාමර් කඳවුර ඉතිහාසයේදී ප්‍රසිද්ධියට පත්ව තිබුණේ මුල් Top Gun චිත්‍රපටයේ දැක්වෙන නාවික හමුදා ප්‍රහාරක නියමු පුහුණු පාසල පැවති ස්ථානය ලෙසයි.
එම කඳවුර “Fightertown USA” ලෙසද හැඳින්වුණු අතර, 1996 දී එය මැරීන් බළකායට පවරා දීමෙන් පසු එම පුහුණු පාසල නෙවාඩා ප්‍රාන්තයේ ෆැලන් නාවික ගුවන් කඳවුර වෙත මාරු කරන ලදී. 2024 වසරේ රජයේ වගකීම් කාර්යාලය (Government Accountability Office) කළ විශ්ලේෂණයකට අනුව, ඇමරිකානු මැරීන් බළකාය, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව F-35 යානා 630කට වැඩි ප්‍රමාණයක් භාවිත කරයි.
F-35B යනු F-35 යානා වර්ග කිහිපයෙන් එකක් වන අතර, කෙටි දුර ධාවනයකින් ගුවන්ගත වීමට සහ සිරස්ව ගොඩබැසීමට හැකි විශේෂ එන්ජිමකින් සමන්විතය. එක් F-35B යානයක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 109ක් පමණ වේ.
එම වාර්තාව අනුව, තවත් යානා 1,800කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන දශක ගණනාවක් භාවිත කිරීමට නියමිත F-35 වැඩසටහනේ සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2කට ආසන්න වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
Flight Safety Foundation ආයතනයේ Aviation Safety Network දත්ත අනුව, මේ වසර තුළ ඇමරිකා එක්සත් ජනපදයේ තවත් හමුදා ගුවන් යානා හතකට වැඩි සංඛ්‍යාවක් අනතුරට ලක්ව තිබේ.
ඒ අතරින් බරපතළම අනතුරක් වූයේ ජූනි මාසයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මොජාවේ කාන්තාරයේදී ගුවන්ගත වී කෙටි වේලාවකට පසු කඩා වැටුණු B-52 බෝම්බ ප්‍රහාරක යානයයි. එම අනතුරෙන් යානයේ සිටි පුද්ගලයන් අට දෙනාම මිය ගියහ.