ලංකාවට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි - ළහිරුගේ 188 සටන මැද කොදෙව්වෝ වසර 3කට පසු ඓතිහාසික ජයක් ලබයි

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ 2023 වසරෙන් පසු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව කොදෙව්වන්ට හිමි විය. තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 217ක විශිෂ්ට ජයක් ලෙස ජයගැනීම ඔවුන්ගේ තරගාවලි ජයග්‍රහණයට ප්‍රධාන පදනම විය.

දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 251ක් රැස් කරමින්, කොදෙව් කණ්ඩායමට පන්දුවාර 60ක් තුළ ලකුණු 302ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාව ලකුණු 140ක් ඉදිරියෙන් - කොදෙව්වන් සමඟ කරට කර තියුණු සටනක්

ශ්‍රී ලංකාව ලකුණු 140ක් ඉදිරියෙන් - කොදෙව්වන් සමඟ කරට කර තියුණු සටනක්

එහෙත්, අවදානම් සහිත ජය හඹා යෑමකට නොගිය කොදෙව් පිල, ආරම්භක පිතිකරුවන් වන ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිංගේ නොදැවුණු අර්ධ ශතක හමුවේ කඩුල්ලක් නොදැවී ලකුණු 109ක් රැස් කරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළේය.

එහිදී ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිං දෙදෙනාම නොදැවී ලකුණු 51 බැගින් රැස් කළහ. තරගයේ පළමු ඉනිමේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 549ක් රැස් කළ අතර, ළහිරු උදාර විශිෂ්ට ලකුණු 188ක ඉනිමක් ක්‍රීඩා කළේය.

ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම ලකුණු 499ක් රැස් කළ අතර, ජස්ටින් ග්‍රීව්ස්ගේ ලකුණු 180ක් සහ ශායි හෝප්ගේ ලකුණු 112ක ශතක ඉනිම තරගයේ පාලනය කොදෙව්වන් වෙත ගෙන යාමට තීරණාත්මක ලෙස දායක විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා මෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද ජස්ටින් ග්‍රීව්ස් සම්මානයට පාත්‍ර විය.