අද ඉන්දියාවේ විස්සයි20 තරගයේදී ලෝක වාර්තාවක්? ක්‍රිකට් පිටියට එන 15 හැවිරිදි සුපිරි තරුව මෙන්න

Report

 ඉන්දීය කණ්ඩායමේ අයර්ලන්ත සංචාරය යටතේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය අද (26) අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.00ට ආරම්භ වන මෙම තරගය ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත්තේ ඉන්දීය යොවුන් පිතිකරු වයිබව් සූර්යවංශිට ජාත්‍යන්තර වරම් හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවිනි.

වයස අවුරුදු 15යි දින 91ක් වන සූර්යවංශි අද තරගයට ක්‍රීඩා කළහොත්, ICC පූර්ණ සාමාජික රටක් වෙනුවෙන් පිරිමි විස්සයි20 ජාත්‍යන්තර තරගයකට එක්වන ළාබාලතම ක්‍රීඩකයා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවනු ඇත.

මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියන්නේ අයර්ලන්තයේ ජොෂ් ලිට්ල්ය. ඔහු සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට එක්වූයේ වයස අවුරුදු 16යි දින 309ක් සපුරා සිටියදීය. එමෙන්ම, සූර්යවංශි අද ජාත්‍යන්තර වරම් ලැබුවහොත්, ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරන ළාබාලතම ක්‍රීඩකයා ලෙසද ඉතිහාසයට එක්වනු ඇත.

මෙතෙක් එම වාර්තාව හිමිකරගෙන සිටින්නේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු 1989 වසරේදී පාකිස්තානයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට එක්වන විට වයස අවුරුදු 16යි දින 205ක් වූ අතර, ඉන් දින 33කට පසුව එක්දින ජාත්‍යන්තර වරම්ද දිනා ගත්තේය

කෙසේ වෙතත්, සමස්ත පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ළාබාලතම ජාත්‍යන්තර ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව ඇත්තේ පාකිස්තානයේ හසන් රාසාය.

ඔහු 1996 වසරේදී සිම්බාබ්වේට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 14යි දින 227ක් පමණි. මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) 2020 වසරේ සිට ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩකයකු සහභාගි විය හැකි අවම වයස අවුරුදු 15ක් ලෙස නියම කර ඇති අතර, ඒ අනුව සූර්යවංශි එම සුදුසුකමද සම්පූර්ණ කර ඇත. අද ඔහුට අවස්ථාව හිමිවුවහොත්, ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ පමණක් නොව, ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේද නව පරිච්ඡේදයක් ලියැවෙනු ඇත.