යුධ ගිනි මැද ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ලෙන්
ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වීමත් සමඟ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මහතා දැඩි කනස්සල්ල පළ කර තිබේ.
ඒ අනුව එක්ස් (X) සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ, මෙවැනි ප්‍රහාරයකින් සිදුවන න්‍යෂ්ටික අනතුරක් හරහා ඉදිරි පරම්පරා ගණනාවකට බලපාන විනාශකාරී සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවයි.
ජාත්‍යන්තර පරමාණුක ශක්ති නියෝජිතායතනය වාර්තා කරන පරිදි, මෙම බලාගාරය ආසන්නයට එල්ල වූ ප්‍රහාරයකින් පතිත වූ සුන්බුන් හේතුවෙන් එහි සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයකු මියගොස් ඇත.
ඉරානයේ දැනට ක්‍රියාත්මක වන එකම න්‍යෂ්ටික බලාගාරය මෙය වන අතර, එය පුද්ගලයින් 250,000ක් පමණ වෙසෙන බුෂෙහ්ර් නගරය ආසන්නයේ පිහිටා තිබීම අවදානම තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ.
ඉරානයේ ඉතා වැදගත් කාර්මික සහ යුදමය කලාපයක් ලෙස සැලකෙන මෙම ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් දිනෙන් දින උත්සන්න වන ගැටුම්කාරී වාතාවරණය හමුවේ පවතින තර්ජනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජාත්‍යන්තර අවධානය යොමු කර ඇත.
මෙම තත්ත්වය සමස්ත කලාපයේම සෞඛ්‍ය සුරක්ෂිතතාවයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.