රනිල්ගේ එංගලන්ත ගමන සොයන්න ගිය පිරිසේ වියදම් වාර්තා කෝ? එජාපයෙන් රජයට දැඩි බලපෑමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එරටට ගිය නියෝජිත පිරිසේ වියදම් සහ අදාළ තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ කෝට්ටේ සංවිධායක දිනේෂ් විධානපතිරණ මහතා පවසයි.
කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ද එම තොරතුරු ලබාගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.
එම තොරතුරු හැකි ඉක්මනින් ජනතාවට හෙළිදරව් කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විධානපතිරණ මහතා පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර පොරොන්දු වූ බැවින් එය කඩිනමින් ඉටු කළ යුතු බවයි.
එමෙන්ම ජනාධිපතිවරණ සමයේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දුව ද ක්‍රියාත්මක කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
සරණ ගුණවර්ධන මහතා සම්බන්ධ නඩුව යහපාලන ආණ්ඩු සමයේ ගොනු කළ එකක් බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.