WhatsApp එකේ "කවුද Online ඉන්නේ" කියලා එක තැනකින් බලන්න අලුත්ම 'Contact Hub' එකක් එයි
WhatsApp යනු ලොව පුරාම මෙන්ම ශ්රී ලංකාව තුළද වැඩිම භාවිතා වන සමාජ ජාල යෙදුම් අතර ප්රමුඛතම එකක් ලෙස සැලකේ.
ශ්රී ලංකාවේ පමණක් මිලියන 10කට අධික පිරිසක් WhatsApp භාවිතා කරන බව වාර්තා වේ.
පරිශීලක අත්දැකීම වැඩිදියුණු කිරීම සහ වෙළඳපොළ තරඟකාරීත්වය පවත්වා ගැනීම අරමුණු කරගෙන WhatsApp නිරන්තරයෙන් නව යාවත්කාලීන නිකුත් කරමින් සිටී. ඒ අනුව නව විශේෂාංගයක් ඉක්මනින් හඳුන්වා දීමට නියමිත බව වාර්තා වේ.
එම නව යාවත්කාලීනය “Contact Hub” නමින් නව කොටසක් ලෙස හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ. මෙම විශේෂාංගය මඟින් පරිශීලකයින්ට දැනට සබැඳිව සිටින මිතුරන් සහ සම්බන්ධතා එකම ස්ථානයකින් දැකගැනීමට හැකි වනු ඇත.
මෙහිදී සබැඳිව වැඩි වාර ගණනක් සිටින සම්බන්ධතා ඉහළින් පෙන්වීමටත්, දැනට සබැඳිව සිටින පුද්ගලයන්ගේ පැතිකඩ ඡායාරූප අසල කොළ පැහැති සලකුණක් (green indicator) පෙන්වීමටත් නියමිත බව වාර්තා වේ.
ඊට අමතරව මෑතකදී සබැඳිව සිටි පුද්ගලයන්ගේ ලැයිස්තුවක්ද මෙම කොටස තුළ ඇතුළත් විය හැකි අතර, එමඟින් චැට් විවෘත නොකරම සම්බන්ධතා තත්ත්වය ඉක්මනින් පරීක්ෂා කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
තවද QR කේතයක් මඟින් නව සම්බන්ධතා එක් කිරීම වැනි අමතර පහසුකම්ද මෙම යාවත්කාලීනයට ඇතුළත් විය හැකි බව සඳහන් වේ.
මෙම විශේෂාංගය මේ වනවිට පරීක්ෂණ අවධියේ පවතින අතර, ඉදිරියේදී සියලුම පරිශීලකයන් සඳහා නිකුත් විය හැකි බවද වාර්තා වේ. Facebook Messenger හිද සමාන “online status” දර්ශක පද්ධතියක් දැනටමත් භාවිතයේ පවතී.