ලක්ෂ 3ක සිසුන්ට පෝෂණය සහ ගොවීන්ට අතහිත - ඇමැති උපාලි පන්නිලගෙන් නුවරඑළියේදී විශේෂ ප්‍රකාශයක්
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) එක්ව ක්‍රියාත්මක කරන ගෙවතු වගා පාසල් පෝෂණ වැඩසටහන (HGSF) යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත කෘෂිකාර්මික උපකරණ ලබාදීම අද (28) සිදු කෙරිණි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම වැඩසටහනේදී අදාළ උපකරණ ප්‍රතිලාභීන් වෙත භාරදීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම, ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු කාර්යක්ෂම කිරීම සහ දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ. එමෙන්ම ජීවනෝපාය සහ ළමා පෝෂණය අතර සබඳතාව ශක්තිමත් කිරීම ද මෙහිදී අපේක්ෂා කෙරේ.
අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය (PSWFPC) මඟින් වැඩසටහනේ සමස්ත කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.
උත්සවය අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, 1968 වසරේ සිට WFP ආයතනය ශ්‍රී ලංකාවේ පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීමට, ආපදා අවස්ථාවලදී සහාය වීමට සහ රටේ සංවර්ධන කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇති බවයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පාසල් පෝෂණ වැඩසටහන සඳහාද WFP විශේෂ සහායක් ලබාදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, මේ වන විට දිවයිනේ පාසල් 2,013ක සිසුන් තුන් ලක්ෂයකට අධික පිරිසකට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට මෙම වැඩසටහන මඟින් සහාය ලැබෙන බව පැවසීය.
එමෙන්ම දේශීය ගොවිතැන් සහ සත්ත්ව පාලන කටයුතුවල නිරත ජනතාව සවිබල ගැන්වීම ද වැඩසටහනේ අරමුණක් බව ඔහු සඳහන් කළේය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 400ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණය අවම කිරීම එහි ප්‍රධාන අරමුණක් බවද අමාත්‍යවරයා පැවසීය.
මෙය හුදෙක් කෘෂිකාර්මික උපකරණ ලබාදෙන වැඩසටහනක් ලෙස නොසලකා, දරුවන්ගේ අධ්‍යාපනය සහ පෝෂණය වැඩිදියුණු කිරීමට මෙන්ම පවුලේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට අමතර ආදායම් මාර්ගයක් නිර්මාණය කරගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස ප්‍රයෝජනයට ගන්නා ලෙසද අමාත්‍යවරයා ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා, WFP ශ්‍රී ලංකා නියෝජිත සහ අධ්‍යක්ෂ පිලිප් වෝඩ් මහතා, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් පිරිසක් එක්ව සිටියහ.