ක්‍රිකට් වාර්තා බිඳ දමමින් කොදෙව්වෝ ප්‍රබල ස්ථානයක
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දින තරගය අද (28) ආරම්භ වීමට නියමිතය.
තෙවැනි දින තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 15ක් ලබා සිටියේය. ඒ අනුව, ඔවුන් තවමත් කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පසුපසින් පසුවෙයි.
කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 308ක් රැස් කළේය. එහිදී නායක ධනංජය ද සිල්වා ලකුණු 120ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් රැස් කළ අතර, කොදෙව් පිල වෙනුවෙන් ජස්ටින් ග්‍රෙවස් කඩුලු 3ක් දවා ගත්තේය.
ඊට පිළිතුරු ලෙස පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එහිදී ඇමීර් ජැන්ගු ලකුණු 233ක් සහ නායක රොස්ටන් චේස් ලකුණු 194ක් රැස් කරමින් දැවැන්ත ඉනිම් දෙකක් ක්‍රීඩා කළහ.
ඔවුන් දෙදෙනා හයවැනි කඩුල්ල සඳහා ලකුණු 401ක සබඳතාවක් ගොඩනැඟූ අතර, එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හයවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාව ලෙසද සටහන් විය.
මෙම වාර්තාවට පෙර එම කඩුල්ල සඳහා ඉහළම සබඳතාව ලෙස පැවතියේ එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් සහ ජොනී බෙයාර්ස්ටෝව් දකුණු අප්‍රිකාවට එරෙහිව ගොඩනැඟූ ලකුණු 399ක සබඳතාවයයි.
ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ අහිමිවීමද ශ්‍රී ලංකා පන්දු යැවිමේ බලඇණියට බලපෑ අතර, නායක ධනංජය ද සිල්වා වැඩි වශයෙන් දඟපන්දු යවන්නන් යොදා ගැනීමට සිදු විය.
එමෙන්ම, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් හයවැනි කඩුල්ල සඳහා බ්‍රයන් ලාරා සහ රිඩ්ලි ජෙකොබ්ස් තැබූ ලකුණු 282ක වාර්තාවද රොස්ටන් චේස් සහ ඇමීර් ජැන්ගු මෙම තරගයේදී අභිබවා ගියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මිලාන් රත්නායක කඩුලු 5ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කමක් දැක්වීය.