මේ පවුල්වලටත් රජයෙන් සතියකට ඇතිවෙන්න ආහාර මල්ලක්
ධීවර ජනතාවගේ අයිතිවාසිකම් කිසිවිටෙකත් උල්ලංඝනය වීමට ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරය රැකගැනීමේ දැඩි ස්ථාවරයක රජය ක්‍රියාත්මක වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ අද (13) පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති, මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය පිළිබඳ සොයා බැලීම සඳහා කැඳවා තිබූ විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්ය.
එම රැස්වීමේදී ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූ අතර, මේ වනවිට ධීවරයන් 12,000කට ආසන්න සංඛ්‍යාවක් ධීවර කටයුතු සිදු කිරීමට නොහැකිව පීඩාවට පත්ව සිටින බව අනාවරණය විය.
ඒ අනුව ගංවතුරට සෘජුව හසු නොවුණද, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුදට යාමට නොහැකිව ජීවනෝපාය අහිමි වී සිටින ධීවර පවුල් සඳහා සතියක කාලයක් වියළි ආහාර පාර්සල් ලබා දීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම, චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති දැල් ආම්පන්න තොගය ආපදාවට පත් ධීවර ජනතාවට බෙදාහැරීම සඳහා චීන තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.