රජයෙන් විශේෂ ව්‍යාපෘතියක් - පවුල් 1,300කට රජයෙන් නොමිලේම ලබා දුන් දේ මෙන්න
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිරිසිදු පානීය ජලය සපායා ගැනීමේ දැඩි දුෂ්කරතාවයකින් පෙළෙමින් සිටි පවුල් 1,300 කගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද නව ජල පිරිපහදු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ මූලිකත්වයෙන් අද (09) ජනතා අයිතියට පත් කෙරිණි.
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීම, ශ්‍රී ලංකා යුද හමුදාධිපතිවරයා හමුදාපති ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව සහභාගී වූ පළමු සමාජ සත්කාරක වැඩසටහන වීම ද විශේෂත්වයකි.
වත්මන් යුද හමුදාපතිතුමාගේ පෞද්ගලික සම්බන්ධීකරණයක් මත අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි දානපතියෙකු විසින් ලබා දුන් රුපියල් ලක්ෂ විසිහය හමාරක (රු. 2,650,000) මූල්‍යමය දායකත්වය පදනම් කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
එවකට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළ සමයේදී වත්මන් යුද හමුදාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් තිරප්පනේ ප්‍රදේශවාසීන්ගේ මෙම දීර්ඝකාලීන පානීය ජල අවශ්‍යතාව හඳුනාගන්නා ලද අතර, මීට මාස 3 කට පමණ පෙර ශ්‍රී ලංකා යුද හමුදා රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර සාර්ථකව අවසන් කිරීමට හැකි විය.