කොළඹට අනතුරු ඇඟවීමක් - ජූනිට කලින්ම මර්දන වැඩ අරඹයි
පසුගිය වසරවල සංඛ්‍යාලේඛන හා ප්‍රස්ථාර නිරීක්ෂණය කිරීමේදී සෑම වසරකම ජූනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින්, එම තත්ත්වය අවම කර ගැනීම සඳහා ලබන වසරේ ජූනි මාසයට පෙර සිටම විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය උපදෙස් ලබා දුන්නාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (15) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ අපජල අපවහනය සහ ඝන අපද්‍රව්‍ය එක්රැස් වීම බරපතළ ගැටලුවක් ලෙස මතුව ඇති බැවින් එය කඩිනමින් විසඳිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
එම ගැටලුවට විසඳුම් ලබාදීමේදී ආයතනික හෝ ප්‍රාදේශීය සීමාවලට කොටු නොවී කටයුතු කළ යුතු බවත්, මෙය සමස්ත රටම මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයක් බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ අපජල හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නාය.
එමෙන්ම, අපජල හා ඝන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම ජාතික අවශ්‍යතාවක් බවට ජනතාව දැනුවත් කිරීම තුළින් ඔවුන්ගේ යහපත් ප්‍රතිචාර සහ පූර්ණ සහයෝගය ලබාගත හැකි බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර, කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ සැප්තැම්බර් මාසයේ පළමු සතිය වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 40කින් අඩුවී ඇති බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමේදී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සක්‍රීයව මැදිහත් වෙමින් විශාල සහයෝගයක් ලබාදෙන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී පැවසූහ.
එම සහයෝගය සහ කැපවීම ජනතාව වෙත කඩිනමින් සේවාවන් ලබාදීමට මහත් පිටුවහලක් වූ බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරල් අරුණ ජයසේකර, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, අරුණ පනාගොඩ, දේවානන්ද සුරවීර, සුසන්ත දොඩාවත්ත සහ සමන්මලී ගුණසිංහ ඇතුළු පළාත් පාලන මහජන නියෝජිතයෝ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු, සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහ සම්බන්ධීකරණ කමිටු නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.