වසර 15 ට පසු සිදුවූ සංචාරය නිම වෙයි - මෙරටට ආ වියට්නාම් ජනපති ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යයි
ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කළ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (08) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
වියට්නාම් - ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සහ දෙරටේම ජනතාවට ප්‍රතිලාභ රැසක් උදා කර දෙමින් වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ඇතුළු දූත පිරිස මෙරට සාර්ථක සංචාරයක නිරත වූ අතර එය වසර 15 ට පසු වියට්නාම් ජනාධිපතිවරයකු මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව ලෙස ද සඳහන්.
එමෙන්ම මෙහි විශේෂත්වය නම් වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම සංචාරය සිදු වීමයි.
වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට සමු දීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන්.

