අන්තිම හුස්ම තෙක් පෑන අත්නොහැරිය ඔහුත් සදහටම සමුගනියි - සෝසුම් මැද අවසන් කටයුතු ගැන දැනුම්දෙයි
ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ නොමැකෙන සලකුණක් තැබූ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු වන සිරිල් විමලසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 97 වැනි වියේ පසුව තිබෙනවා.
සිය වෘත්තීය ජීවිතය පාඨශාලාචාර්යවරයෙකු වශයෙන් ආරම්භ කළ විමලසුරේන්ද්‍ර මහතා, අනතුරුව ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූයේ අළෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු වශයෙන්.
එහෙත් ඔහු සතු වූ සහජ මාධ්‍ය හැකියාව නිසාම කෙටි කලකින් එම ආයතනයේම මාණ්ඩලික මාධ්‍යවේදියෙකු වශයෙන් සිය පන්හිඳ මෙහෙයවන්නට ඔහුට අවස්ථාව හිමිව තිබුණා.
අනතුරුව උපාලි පුවත්පත් ආයතනය සමඟ එක්ව මහනුවර මාණ්ඩලික මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ ඔහු මහනුවර ප්‍රවෘත්ති සමාජය බිහි කිරීමේ පුරෝගාමිකයා මෙන්ම එහි ප්‍රථම සභාපතිවරයා වශයෙන් ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කර සිටියා.
එමෙන්ම සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම එකලෙස දක්ෂතා දැක්වූ ඔහු, අසනීප තත්ත්වයෙන් පසුවූ කාලසීමාවේ පවා සිය නිවසේ සිට පුවත්පත් වෙත තොරතුරු සපයමින් 2024 වසර වන තෙක්ම ක්‍රියාශීලී මාධ්‍යකරණයක නිරත වීම කාගේත් පැසසුමට ලක් විය.
දෙදරු පියෙකු වූ සිරිල් විමලසුරේන්ද්‍ර මහතාගේ දේහය මේ වන විට මහනුවර ජාතික රෝහල ආසන්නයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත.
මාධ්‍ය ක්ෂේත්‍රයට අතිමහත් සේවයක් කළ මෙම ප්‍රවීණයාගේ අවසන් කටයුතු හෙට (අප්‍රේල් 22) දින පස්වරු 7.00 ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බව දැනුම් දෙයි.