ඉන්දියානුවන්ට උස්බෙකිස්තානයේ දින 30ක වීසා රහිත සංචාරක අවස්ථාවක් - නැරඹිය යුතු සුන්දර ස්ථාන ලැයිස්තුවකුත්
ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දින 30ක් දක්වා වීසා නොමැතිව උස්බෙකිස්තානයට ඇතුළු වීමට අවස්ථාව ලබාදීමට එරට රජය නව වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උස්බෙකිස්තාන දෙදින රාජ්‍ය සංචාරය අතරතුර අගෝස්තු 30 වැනිදා ටෂ්කෙන්ට් නුවරදී පැවති සාකච්ඡාවලදී එරට ජනාධිපති ෂව්කට් මීර්සියොයෙව් විසිනි.
නව වීසා නිදහස් ක්‍රමය හරහා දෙරට අතර සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇත. කෙසේ වෙතත්, මෙම නිවේදනය අලුත් බැවින් සංචාරය සැලසුම් කිරීමට පෙර එය ක්‍රියාත්මක වන නිශ්චිත දිනය, ගමන් බලපත්‍රයේ වලංගුභාවය සහ අනෙකුත් ඇතුළුවීමේ කොන්දේසි පිළිබඳව අදාළ උස්බෙකිස්තාන බලධාරීන්ගෙන් තොරතුරු තහවුරු කර ගැනීම වැදගත් වේ.
හිමාලයෙන් කඩා වැටුණු අයිස් සහ පාෂාණ ගංවතුරක් ඇති කළ හැටි - නේපාල ගංවතුරේ ආරම්භය කැමරාවේ ඩ්‍රෝන කැමරාවේ සටහන් වූ දර්ශන
උස්බෙකිස්තානයේදී නැරඹිය හැකි ස්ථාන
දින 30ක වීසා රහිත කාලයක් හිමිවීමත් සමඟ කෙටි සංචාරයකට පමණක් සීමා නොවී උස්බෙකිස්තානයේ විවිධ ප්‍රදේශ ගවේෂණය කිරීමට සංචාරකයන්ට වැඩි ඉඩක් ලැබේ.
ටෂ්කෙන්ට් නගරයෙන් ආරම්භ කරන්න
උස්බෙකිස්තානයේ අගනුවර වන ටෂ්කෙන්ට් නගරය නවීන නාගරික ජීවිතය සමඟ උස්බෙක්, සෝවියට් සහ ඉස්ලාමීය ඉතිහාසයේ සලකුණු එකට දැකගත හැකි ස්ථානයකි.
එහි විශේෂ ආකර්ෂණයක් වන්නේ අලංකාර මොසෙයික්, විශාල පහන්, මූර්ති සහ බිතු සිතුවම්වලින් සරසා ඇති ටෂ්කෙන්ට් මෙට්‍රෝ දුම්රිය ස්ථානයි.
සමර්කන්ඩ්හි රෙජිස්තාන් චතුරශ්‍රය
උස්බෙකිස්තානය පිළිබඳ ඡායාරූපවල බොහෝ විට දැකගත හැකි රෙජිස්තාන් චතුරශ්‍රය සමර්කන්ඩ් නගරයේ ප්‍රධාන ආකර්ෂණයකි. යුනෙස්කෝ ලෝක උරුමයක් වන එහි ඓතිහාසික ප්‍රදේශය තුළ රෙජිස්තාන්, බිබී-ඛානිම් පල්ලිය, ෂාහි සින්දා සහ ගුර්-ඊ-අමීර් සොහොන් ගැබ වැනි ස්ථාන දැකගත හැකිය.
බුහාරා නගරය ගවේෂණය කරන්න
පුරාණ සේද මාවතේ වැදගත් නගරයක් වූ බුහාරා, පැරණි මද්‍රසා, පල්ලි, වෙළෙඳපොළ, කැරවාන්සරායි සහ ඓතිහාසික වෙළෙඳ ගොඩනැගිලිවලින් සමන්විතය. නිදහසේ ඇවිදිමින් පැරණි නගරයේ වාතාවරණය අත්විඳීමට කැමති සංචාරකයන්ට එය විශේෂ අත්දැකීමක් ලබාදෙයි.
උස්බෙක් ආහාර රස බලන්න
උස්බෙකිස්තානයට යන සංචාරකයන්ට එරට සාම්ප්‍රදායික ආහාර අත්හදා බැලීමද අමතක කළ නොහැකි අත්දැකීමකි. ප්ලොව් එරට ජනප්‍රියම ආහාරයක් වන අතර, මැන්ටි නමින් හැඳින්වෙන වාෂ්පයෙන් පිසූ ඩම්ප්ලිං සහ ෂෂ්ලික් වැනි ආහාරද ජනප්‍රියය.
ෆර්ගානා නිම්නයට යන්න
සාම්ප්‍රදායික සංචාරක මාර්ගවලින් ඔබ්බට ගමන් කිරීමට කැමති අයට ෆර්ගානා නිම්නය නැරඹිය හැකිය.
රිෂ්තාන් ප්‍රදේශය එහි සාම්ප්‍රදායික මැටි භාණ්ඩ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ අතර, මාර්ගිලාන්හි යොද්ගොර්ලික් සේද කර්මාන්ත ශාලාව හරහා සාම්ප්‍රදායික සේද නිෂ්පාදන ක්‍රියාවලිය නැරඹිය හැකිය.
කාන්තාරයේ යර්ට් කඳවුරක රාත්‍රියක්
වෙනස් ආකාරයේ අත්දැකීමක් සොයන සංචාරකයන්ට කාන්තාර ප්‍රදේශවල පිහිටි යර්ට් කඳවුරුවල රාත්‍රියක් ගත කළ හැකිය.
සාම්ප්‍රදායික වටකුරු කූඩාරම්වල නවාතැන් ගැනීමට අමතරව දේශීය ආහාර, සංස්කෘතික වැඩසටහන් සහ කාන්තාර අත්දැකීම්ද එහිදී ලබාගත හැකිය.
දින 30ක වීසා රහිත සංචාරයෙන් ලැබෙන වාසිය
මෙතෙක් උස්බෙකිස්තානය කෙටි කාලීන සංචාරයක් ලෙස සැලසුම් කළ සංචාරකයන්ට, නව වීසා රහිත ක්‍රමය හේතුවෙන් දින 30ක් පුරා වඩාත් නිදහස්ව රට ගවේෂණය කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
එමෙන්ම ඉන්දියාව සහ උස්බෙකිස්තානය අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. උස්බෙකිස්තානයේ ලාල් බහදූර් ශාස්ත්‍රි ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සහ මහත්මා ගාන්ධි ඉන්දීය අධ්‍යයන මධ්‍යස්ථානය වැනි ආයතන ක්‍රියාත්මක වන අතර, යෝගා සඳහාද එරට තුළ වැඩි ජනප්‍රියත්වයක් ලැබී තිබේ. ඒ අනුව, ඉතිහාසය, සංස්කෘතිය, ආහාර, කඳුකර සහ කාන්තාර අත්දැකීම් එකම සංචාරයකදී විඳීමට කැමති ඉන්දියානු සංචාරකයන්ට උස්බෙකිස්තානය වඩාත් පහසු ගමනාන්තයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.