ඩෙංගු මර්දනයට ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් නව සහාය වැඩසටහනක්
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු රෝග තත්ත්වයට මුහුණදීම සඳහා මහජන සෞඛ්‍ය සහ වාහක මඟින් බෝවන රෝග පාලන හැකියාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
තාක්ෂණික සහයෝගීතාව සහ දැනුම හුවමාරුව තුළින් ඩෙංගු රෝගය වැළැක්වීම, කල්තියා හඳුනා ගැනීම සහ ඊට කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විදේශීය මානුෂීය, ආපදා සහ සිවිල් ආධාර වැඩසටහන යටතේ අරමුදල් සපයන මෙම ව්‍යාපෘතිය මඟින් මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන්, ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග සහ පුරෝකථන මත පදනම් වූ ඩෙංගු වැළැක්වීමේ උපායමාර්ග සඳහා සහාය ලබාදීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජනතාවට ඩෙංගු රෝගය තවදුරටත් බරපතළ අභියෝගයක් වී ඇති බව සඳහන් කළ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති ජේන් හොවෙල් මහත්මිය, මෙම සහයෝගීතාව මඟින් කෙටි කාලීන වසංගත ප්‍රතිචාර හැකියාවන් මෙන්ම දිගුකාලීන මහජන සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමටද හැකි වනු ඇති බව ප්‍රකාශ කළාය.
"ජාතික ආරක්ෂාව වෙනුවෙන් ට්‍රම්ප්ට වුණත් එරෙහි වෙනවා" - බ්‍රිතාන්‍යයේ නව අගමැතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
මෙම වැඩසටහන ආපදා සූදානම, මානුෂීය ආධාර සහ දෙරට අතර පවතින පුළුල් ආරක්ෂක හා පුහුණු සහයෝගීතා වැඩසටහන්වල කොටසක් ලෙස ක්‍රියාත්මක වන බවද අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
ස්වාභාවික ආපදා, මානුෂීය හදිසි අවස්ථා සහ මහජන සෞඛ්‍ය තර්ජන වැනි පොදු අභියෝගවලට මුහුණදීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවද එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.