කොළඹ වරායේ අලුත් ඩිජිටල් වෙනසකට පාර කැපෙයි - අමෙරිකාවෙන් මිලියන ගණනක ප්‍රදානයක්

Report

කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 17ක මූල්‍ය ප්‍රදානයක් ලබාදී තිබේ.

මෙම ප්‍රදානය ලබාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා අද (16) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

තානාපතිවරයා පළමුව කොළඹ වරාය නියමු නාවික මධ්‍යස්ථානය වෙත පැමිණි අතර, එහිදී වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා විසින් ඔහු පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ අමෙරිකානු තානාපතිවරයා සඳහන් කළේ අමෙරිකානු තාක්ෂණය කොළඹ වරායට හඳුන්වාදීම මඟින් භාණ්ඩ මෙහෙයුම් වේගවත් කිරීමටත්, වෙළෙඳ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමටත් හැකි වන බවය.

එමඟින් දෙරටේ ආර්ථිකයන් ශක්තිමත් කිරීමට ද දායකත්වයක් ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම වරාය නිරීක්ෂණය කිරීම තුළින් ගෝලීය වෙළෙඳාම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම තවදුරටත් අවබෝධ කරගැනීමට හැකි වූ බව ද තානාපතිවරයා සඳහන් කළේය.

බන්ධනාගාර කොමසාරිස් මල්වතු හා අස්ගිරි හිමිවරුන් බැහැදකී - විශේෂ හමුවක්

බන්ධනාගාර කොමසාරිස් මල්වතු හා අස්ගිරි හිමිවරුන් බැහැදකී - විශේෂ හමුවක්

මේ අතර, මූල්‍ය ප්‍රදානය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ඒ වෙනුවෙන් අමෙරිකානු රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පළ කළේය.

මෙම ආධාර මුදල නාවික තනි කවුළු පද්ධතිය සහ වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සඳහා යොදාගැනීමට හැකි බවත්, එමඟින් වරාය සේවා ලබාගන්නා සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ සැලසෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා සඳහන් කළේ මෙම වසර තුළ බහාලුම් මිලියන 9ක් මෙහෙයවීමට අපේක්ෂා කරන බවය. ඉන් සියයට 80ක් පමණ ප්‍රතිනැව්ගත කිරීමේ බහාලුම් බව ද ඔහු පැවසීය.

ප්‍රතිනැව්ගත කිරීමේ බහාලුම් මෙහෙයුම් හරහා ගෝලීය වෙළෙඳාමට කොළඹ වරාය ලබාදෙන දායකත්වයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 250 ඉක්මවන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ද විශාල දායකත්වයක් බව පෙන්වා දුන් ඔහු, වරාය මෙහෙයුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

කාවන්තිස්ස ඇතා බේරාගන්න ඕනෑම දේකට මම ලෑස්තියි - ඩඩ්ලි සිරිසේනගෙන් වනජීවී බලධාරීන්ට හදිසි ඉල්ලීමක්

කාවන්තිස්ස ඇතා බේරාගන්න ඕනෑම දේකට මම ලෑස්තියි - ඩඩ්ලි සිරිසේනගෙන් වනජීවී බලධාරීන්ට හදිසි ඉල්ලීමක්