නොරොච්චෝලෙන් පිටවන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට සැලැස්මක්
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා වූ විධිමත් සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වූ මෙම කාරක සභාවේදී අනාවරණය වූයේ, ආනයනය කරනු ලබන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ පවතින ගැටලු හේතුවෙන් විදුලිය නිපදවීමේදී විමෝචනය වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
මෙම අළු නිසි ලෙස බැහැර නොකිරීමෙන් ඉදිරියේදී බරපතළ පාරිසරික හානි සිදුවීමේ අවදානමක් පවතින බැවින්, පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාගේ මූලිකත්වයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනම් සැලැස්මක් සකස් කරන ලෙස කාරක සභාව මෙහිදී නියෝග කළේය.
එලෙස ඉවත් කරන අළු විවිධ නිෂ්පාදන කාර්යයන් සඳහා ප්‍රතිචක්‍රීකරණය කර භාවිත කිරීමේ හැකියාව පිළිබඳව කඩිනම් අධ්‍යයනයක් සිදු කළ යුතු බවත්, එම නිෂ්පාදනවලින් ලැබෙන ආදායම බලාගාරය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධන ව්‍යාපෘති සඳහා යෙදවිය යුතු බවත් කාරක සභාව වැඩිදුරටත් යෝජනා කර සිටියේය.