ලෙඩින් ඉන්න රනිල්ගේ ගෙදරට CIDන් ඇත්තටම ගියේ මේ නිසා? වජිරගෙන් විශේෂ ප්‍රකාශයක්
හෘද සැත්කමකට භාජනය වී සුවය ලබමින් සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් පැමිණීම එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙළා දකිනව බව පවසයි.
ඒ අනුව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සැක පළ කර ඇත්තේ, මෙය මාලිමා රජයට එරෙහිව එල්ල වන මහජන චෝදනා මැඩපැවැත්වීමට දියත් කළ දේශපාලන උප්පරවැට්ටියක් බවටයි.
අඳාළ විශේෂ ප්‍රකාශය පහතින්,
"රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෘද සැත්කමකින් පසුව සුවය ලබමින් සිටින වෙලාවක එතුමාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් නිවසට පැමිණීම ගැන අපි කණගාටුවට පත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රෝගී තත්ත්වය පිළිබඳ සියල්ලක් සොයා බලන්නේ එතුමාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියයි.විශේෂයෙන්ම එතුමියත් දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ එතුමාගේ නිවසට දේශපාලන කටයුතු සඳහා හෝ කිසිකෙනෙකු සම්බන්ධ නොවන්නේ එතුමාගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහායි. විශේෂයෙන්ම වෙනත් ලෙඩ රෝග තිබෙන අය පැමිණීම එතුමාගේ සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් වෙනවා. එවැනි පසුබිමක හදිසියේම මේ ප්‍රකාශය ගැනීම සඳහා නිවසට පැමිණීම සුදුසු ක්‍රියාවක්ද? මෙවැනි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් දෙන්නේ කවුරුන්ද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා? විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුවට එරෙහිව දිනෙන් දිනම එල්ලවන චෝදනා වෙන අතකට යොමු කරන්න මෙවැනි වැඩ කරනවාද කියා අපිට සැකයක් මතු වෙනවා. මේ අවස්ථාවේදී මේ ප්‍රකාශය ලබාගැනීම අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. නිවසේ සිටින දෙදෙනාම රෝගී තත්ත්වයෙන් පසුවන මොහොතක ඒ ගත් ක්‍රියාමාර්ගය අප තරයේ හෙළා දකිනවා."