එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අද ජිනීවා හිදී ඇරැඹේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය 2025 සැප්තැම්බර් 8 සිට ඔක්තෝබර් 8 දක්වා ජිනීවාහි පැලයිස් ඩෙස් නේෂන්ස් හිදී ආරම්භ වේ. ස්විට්සර්ලන්තයේ තානාපති ජර්ග් ලාබර්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැසිය ආරම්භ වන අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් එය විවෘත කරනු ඇත.
සැසිය අතරතුර, කවුන්සිලය මහකොමසාරිස්, විශේෂ ක්‍රියාපටිපාටි බලතල දරන්නන්, විශේෂඥ යාන්ත්‍රණ, විමර්ශන යාන්ත්‍රණ සහ අනෙකුත් ආයතනවල නියෝජිතයන් සමඟ අන්තර්ක්‍රියාකාරී සංවාද 37 ක් පවත්වනු ඇත.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වාර්තාව සම්බන්ධයෙන් අන්තර්ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ප්‍රකාශයක් කිරීමට නියමිතය. මෙම දේශනය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3:45ට පැවැත්වෙන අතර, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතිය සහ අනාගත සැලසුම් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
මෙම සැසිය, මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ මෑත ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව පැවැත්වෙන අතර, ජාතික ජන බලවේග රජය තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව සහභාගී වන පළමු UNHRC සැසිය මෙය වේ. රජය සිය නවතම මුලපිරීම්, ජයග්‍රහණ සහ මානව හිමිකම් ඉදිරියට ගෙනයාම සඳහා උපායමාර්ගික මාර්ග සිතියම ඉදිරිපත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය හේරත් ජිනීවාහිදී මහකොමසාරිස් ටර්ක් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් අමාත්‍යවරයා සමඟ එක්වෙයි.
නියෝජිත පිරිස ඉරිදා (07) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය අතර, සැප්තැම්බර් 11 වන දින දක්වා ජිනීවාහි රැඳී සිටිනු ඇත.