ටොන් එකත් ඉක්මවූ යෝධ වට්ටක්කයක් - UK ගොවියා ලොවම පුදුම කරයි
සාමාන්ය කුඩා මෝටර් රථයක බරටත් ආසන්න දැවැන්ත වට්ටක්කා ගෙඩියක් වගා කරමින් ලොව වැඩිම බරැති වට්ටක්කා ගෙඩියට හිමි ලෝක වාර්තාව තමන් සතු කරගැනීමට බ්රිතාන්යයේ ගොවියෙකු සමත්ව තිබේ. ‘බැගීරා’ (Bagheera) ලෙස නම් කර ඇති මෙම දැවැන්ත වට්ටක්කා ගෙඩියේ බර කිලෝග්රෑම් 1,295.8ක් වන අතර, එය ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇත.
මෙම සුවිශේෂී වට්ටක්කා ගෙඩිය වගා කර ඇත්තේ බ්රිතාන්යයේ හැම්ප්ෂයර් ප්රදේශයේ පදිංචි ඉයන් පැටන් නමැති පුද්ගලයා විසිනි.
ඔහු සිය නිවුන් සහෝදරයා වන ස්ටුවර්ට් සමඟ වසර 50කට වැඩි කාලයක් දැවැන්ත වට්ටක්කා වගා කිරීමේ නිරතව සිටියි. කෙසේ වෙතත්, මෙවර තරගයට ඔහු ඉදිරිපත් වී ඇත්තේ පළමු වරට තනිවම වීම ද විශේෂත්වයකි.
මෙම දැවැන්ත වට්ටක්කා ගෙඩිය වාර්තාගත ප්රමාණයට වර්ධනය කිරීමට ගතවී ඇත්තේ දින 120ක් පමණි.
උණුසුම් ගිම්හාන කාලයේදී දිනකට ජලය ලීටර් 600කට ආසන්න ප්රමාණයක් එයට අවශ්ය වූ බව ඉයන් පවසයි. වට්ටක්කා ගෙඩිය රැකබලා ගැනීම සඳහා දිනකට පැය හයක් දක්වා කාලයක් වැය කිරීමට සිදුවූ බව ද ඔහු සඳහන් කර තිබේ.
එහි වට ප්රමාණය මීටර් හයකටත් වඩා වැඩිය. ඉයන් පැවසූ පරිදි, ගොල්ෆ් බෝලයක ප්රමාණයේ සිට මෙවැනි දැවැන්ත වට්ටක්කා ගෙඩියක් බවට පත්වීමට ගතවන්නේ දින 120ක් පමණ වන අතර, ඇතැම් දිනවලදී එය කිලෝග්රෑම් 32ක් දක්වා බරින් වැඩි වී තිබේ.
මෙම ජයග්රහණයත් සමඟ ඉයන් තමන්ගේම පැරණි ලෝක වාර්තාව ද අලුත් කර ඇත. ඔහු සහ ඔහුගේ නිවුන් සහෝදරයා පසුගිය වසරේ වගා කළ වට්ටක්කා ගෙඩියේ බර කිලෝග්රෑම් 1,278කි.
ඒ අනුව නව වාර්තාව පැරණි වාර්තාවට වඩා කිලෝග්රෑම් 17.8කින් වැඩිය. දැනට මෙම දැවැන්ත වට්ටක්කා ගෙඩිය හැම්ප්ෂයර් ප්රදේශයේ ගොවිපළක ප්රදර්ශනයට තබා ඇති අතර, ඉදිරි සති කිහිපය තුළදී එය නැරඹීමට පැමිණෙන අයට සමීපව දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවේ.
ප්රදර්ශනය අවසන් වූ පසු මෙතරම් විශාල වට්ටක්කා ගෙඩියකට කුමක් සිදුකරන්නේද යන්නත් බොහෝ දෙනෙකුට කුතුහලයක් ඇති කරවන කරුණකි. ඉයන් පවසන්නේ එය අවසානයේ ගවයන්ගේ ආහාර සඳහා යොදාගැනීමට නියමිත බවය.