බොරතෙල් බැරලයක මිල 26% කින් අඩු වෙලා හැබැයි මාලිමාව නැවත වතාවක් අහස උසට තෙල් මිල වැඩි කරලා - ගම්මන්පිල [VIDEO]
අද (1) දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුව ඇති පසුබිමකත් මෙරට තෙල් නැවත වතාවක් අහස උසට වැඩි කර ඇති බවයි.
ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිව තිබියදී මෙරට තෙල් මිල වැඩි කිරීම තේරුම් ගත හැකි වුවත් වර්තමාන තත්ත්වය වෙනස් බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
"මාලිමා ආණ්ඩුව නැවත වතාවක් අහස උසට තෙල් මිල වැඩි කරලා තිබෙනවා. 2022 දී ලෝක යුද්ධ දෙකක් මැද ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට ඉහළ ගිහිල්ලා ඒ වගේම ඩොලරය රුපියල් 371 දක්වා වටිනාකම වැඩි වෙලා තිබුණු පසුබිමක පෙට්‍රල්වලට මිල නියමක නියම කළ මිලට වඩා වර්තමාන මිල යන්තම් රුපියල් 35 යි අඩුයි. මේ මිල වැඩි කිරීම අතාර්කිකයි, අසාධාරණයි. ඇයි අපි එහෙම කියන්නේ? 2026 අප්‍රේල් මාසේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වුණු නිසා අපේ රටේ තෙල් මිල වැඩි කිරීම තේරුම් ගන්න පුළුවන්. නමුත් දැන් තත්ත්වය වෙනස්. 2026 අප්‍රේල් 29 වෙනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල වුණේ ඩොලර් 114 යි. අද වෙනකොට ඒ කියන්නේ මැයි මාසේ 29 වෙනකොට ඒක ඩොලර් 84 දක්වා ඩොලර් 30 කින් නැත්නම් 26% කින් මිල අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මැයි මාසය තුළදී විතරක් බොරතෙල් බැරලයක මිල ඩොලර් 30 කින් නැත්නම් 26% කින් අඩු වෙලා තියෙනවා. එහෙම දැවැන්ත අඩුවීමක් තිබියදීම තමයි ආණ්ඩුව මේ මිල වැඩි කිරීම කරලා තිබෙන්නේ.
විශේෂයෙන්ම සමස්ත ලෝකය පුරාම තෙල් මිල අඩු කරමින් පවතින පසුබිමක තමයි ලංකාවේ මේ තෙල් මිල වැඩි කිරීම සිද්ධ කරලා තිබෙන්නේ. මේ දක්වා අපිට කිව්වේ අපේ පවතින තෙල් තොගය අත්පත් කර ගැනීමට ගිය වියදම බලලා සෑම මාසෙකම තෙල් මිල තීරණය කරනවා කියලා. ඕකටනේ ඔය මිල සූත්‍රය කියලා කිව්වේ. පසුගිය මාස ගණනාවක් පුරාම ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙනකොට අපේ රටේ තෙල් මිල වැඩි වුණා, ඒක අපිට තේරුම් ගන්න පුළුවන් කාරණයක්. හැබැයි, ලෝක වෙළඳපොළේ එසේ මෙසේ නෙවෙයි, දැවැන්ත ලෙස මිල අඩුවීමක් සිදුවෙමින් තිබියදී අපේ රටේ මිල වැඩිවීම සිද්ධ වුණේ කොහොමද? මේක හරි අරුම පුදුම මිල සූත්‍රයක්නේ. ලෝක වෙළඳපොළේ මිල වැඩි වෙනකොටත් ලංකාවේ මිල වැඩි වෙනවා. අනිත් පැත්තට ලෝක වෙළඳපොළේ මිල අඩු වෙනකොටත් ලංකාවේ මිල වැඩි වෙනවා. වැඩි වෙනකොටත් වැඩි වෙන, අඩු වෙනකොටත් වැඩි වෙන අරුම පුදුම මිල සූත්‍රය තිබෙන්නේ ලංකාවේ පමණයි. අර ජිප්සීස් සුනිල් හිටියා නම් කියයි, "ලංකාවේ ලංකාවේ, එංගලන්තේ එහෙම වෙන්නේ නෑ" කියලා. දැන් මේ පසුබිම යටතේ බලශක්ති ඇමතිවරයා මිල සූත්‍රය ප්‍රසිද්ධ කරලා, ලෝක වෙළඳපොළේ බරපතළ ලෙස තෙල් මිල 26% කින් අඩු වූ මාසෙක ලංකාවේ මිල වැඩි වුණේ කොහොමදැයි කියන එක රට ඉදිරියේ පැහැදිලි කිරීමක් කළ යුතුයි. ඇත්තටම මේ මිල වැඩි කලේ යුද්ධය හින්දා නෙවෙයි, සුද්දය හින්දා. ලංකාව තමයි පහුගිය කාලේ ලෝකයේ ඉහළම මිලට ඩීසල් මිලදී ගත්තේ. අපි එහෙම දැවැන්ත ලෝක වාර්තාවක් තියලා කියලා නිකමට ආණ්ඩුවේ ලොක්කෝ අපිට කිව්වේ නෑනේ අපිට පොඩ්ඩක් ආඩම්බර වෙන්න. ඒකත් අපි දැනගත්තේ HSBC ලොක්කගෙන්. ලොකු කොමිස් කුට්ටියක් ගැහුවේ නැත්නම් කීයටවත් මේ ලෝකයේ ඉහළම මිලට අපට ඩීසල් මිලදී ගන්න වෙන්නේ නෑ. ඇයි ඒ? අපි ඩීසල් ඇතුළු පිරිපහදු කළ තෙල් මිලදී ගන්නේ මැදපෙරදිගින් නෙවෙයි, සිංගප්පූරුවෙන්. ඒ නිසා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා එන නැව්වලට, රතු මුහුද හරහා එන නැව්වලට අය කළ විශේෂ රක්ෂණ ගාස්තුවට අපේ පෙට්‍රල් ඩීසල් නැව් යටත් වුණේ නෑ. හැබැයි මේ කතාව අපි කියනකොට මාලිමාවේ ඉන්න මෝඩ මන්ත්‍රීවරු කියනවා අපූරු කතාවක්. ඒ අය කියනවා මේ මාලිමාව, සිංගප්පූරුවෙන් පෙට්‍රල් ඩීසල් අපි ගෙනාවට, සිංගප්පූරුවට බොරතෙල් ගෙනාවේ පිරිපහදු කරගන්න මැදපෙරදිගින්, ඒවාට ඉහළ රක්ෂණ ගාස්තුවක් අය කරපු නිසා තමයි අපිට ඉහළ මිලක් ගෙවන්න සිද්ධ වුණේ. ඒක හතරබීරි කතාවක්නේ. එහෙනම් සිංගප්පූරුවෙන් තෙල් මිලදී ගන්නා ආසියාවේ අනෙකුත් රටවල් සියල්ලටම මේ ඉහළ මිලට ඩීසල් මිලදී ගන්න වෙන්න ඕනේ. එහෙනම් ලංකාව විතරක් ලෝකයේ ඉහළම මිලට ඩීසල් මිලදී ගැනීම සිද්ධ වුණේ කොහොමද? ඒකට නම් හේතුව රක්ෂණ ගාස්තුව නෙවෙයි, ඔය දේශපාලකයෝ අය කරපු වෙනත් ගාස්තුවක්, පගාවක්, කොමිස් මුදලක් කියන එක තමයි අපිට අනුමාන කරන්න තිබෙන්නේ. එතකොට යුද්ධය නිසා මිල වැඩි වුණු බව ඇත්තක්, ඒක හැම රටටම බලපෑවා. අපි වැඩි මිල ගෙව්වේ යුද්ධය නිසා නෙවෙයි, සුද්දය නිසා. මාලිමා ආණ්ඩුවේ කවුරු හරි දැවැන්ත කොමිස් කුට්ටියක් ගැහුවේ නැත්නම් අපිට ලෝකයේ ඉහළම මිලට පිරිපහදු කළ තෙල් වර්ග මිලදී ගන්න වෙන්නේ නෑ. ඉතින් මාලිමා ආණ්ඩුවේ දූෂණ වල බරපැන ඇයි මේ රටේ ජනතාව දරන්න ඕනේ? ඒක දරන්න ඕනේ පැලවත්තේ ලොකු අයියා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට බල කරලා කියා සිටිනවා, මේ තෙල් මිල වැඩි කිරීම වහාම ඉවත් කරගෙන, පැලවත්ත පක්ෂ අරමුදලෙන්, ලෝක ඉතිහාසයේ ඉහළම මිලට තෙල් මිලදී ගැනීමෙන් සිදුවුණු පාඩුව පැලවත්ත පක්ෂ අරමුදලෙන් අය කරගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා."