ෆේස්බුක් සහ අන්තර්ජාලය හරහා ක්‍රීම් වර්ග ගත්ත අයට රතු එළියක්..

Lanka Business Online Facebook Businessman Online business
By Aruna May 23, 2023 04:27 AM GMT
Aruna

Aruna

Report

වර්තමානයේ ෆේස්බුක් සහ අන්තර්ජාලය මගින් ශරීර ආලේපන ක්‍රීම් වර්ග අලෙවි කිරීම ඉතා ජනප්‍රිය මෙන්ම වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා.

 ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීති විරෝධී ශරීර ආලේපන තොගයක් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී වැටලීම් ඒකකය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම ශරීර ආලේපන ඇසුරුම් වල ශ්‍රී ලංකාව ඇතුලත ආනයනකරුවකුගේ හෝ නිෂ්පාදකයකු ගේ තොරතුරු සඳහන් වී නොතිබූ බවයි පැවසෙන්නේ.

එසේම මෙම ශරීර ආලේපන වල නියමිත ප්‍රමාණය ඉක්මවා පිළිකාකාරක බැර ලෝහ අඩංගු වේ දැයි පරික්ෂා කිරීම සඳහා පරීක්ෂණාගාර වෙත යොමු කිරීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරියේ දී නඩු පැවරීමට නියමිත බවත් වාර්තා වනවා.

අන්තර්ජාලය හරහා සහ වෙළෙඳ පොළේ අලෙවි වන මෙවැනි ශරීර ආලේපන වල නියමිත ප්‍රමාණය ඉක්මවා ශරීරයට අහිතකර පිලිකා කාරක ඊයම්, ආසනික්, රසදිය සහ කැඩ්මියම් අඩංගු වන බවත් එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම සුදු වීම සඳහා කාන්තාවන් බහුල වශයෙන් භාවිතා කරන ශරීර ආලේපන වල මෙම තත්ත්වය දැකිය හැකි බවත්, මෙවැනි ශරීර ආලේපන භාවිතා කොට පසුකාලීනව එය පිළිකා ඇති වීමට හේතු වන බවත් පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී ඒකකය විසින් පසුගිය අප්‍රේල් මස 26 වන දින ප්‍රමිතියට පටහැනි ශරීර ආලේපන සම්බන්ධව කොළඹ පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමත් සමග මෙවැනි නීති විරෝධී ශරීර ආලේපන නිෂ්පාදනය කරන, බෙදාහරින ප්‍රධාන ආයතන ඇතුළු වෙළඳසැල් ගණනාවකට මේ වන විටත් නීත්‍යානුකූලව කටයුතු කර ඇත.

මෙම වැටලීම කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යූ. රන්ජන මහතාගේ මෙහෙයවීමෙන් පියල් සමරනායක, එස්. පී. පුංචිහේවා, අරවින්ද ශාලික, ධනුක ගුණරත්න, යසිත ඉෂාන් යන නිලධාරීන් විසින් සිදුකර ඇති බවත්, මෙවැනි නීති විරෝධී නිෂ්පාදන වෙළඳපොළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා පාරිභෝගික සහාය අවශ්‍ය බවත් ඒ අනුව මෙරට ආනයන කරුවෙකුගේ හෝ නිෂ්පාදකයකු ගේ විස්තර ඇතුළු තොරතුරු නිවැරදිව සඳහන් නොමැති ශරීර ආලේපන මිලදී ගැනීමෙන් වළකින ලෙස කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින අතරම වැටලීම්, විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ද වාර්තා වේ.


ReeCha