කහව හන්දිය කැළඹූ වෙඩිල්ලේ සැකකරුවන් අවුරුදු 19 හා 22 වයස්වල දෙදෙනෙක් - අත්අඩංගුවට
වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලීසිය සමත්ව තිබෙනවා.
ඒ අනුව මේ මස 21වැනි දින අම්බලන්ගොඩ, කහව හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පිස්තෝල අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධයට සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
එසේම පොලීසිය සඳහන් කරන්නේ මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) දින උදෑසන බටපොල පොලිස් වසමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අවුරුදු 19 හා 22 වයස්වල පසුවන අළුත්වල හා මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ය.
එසේම සැකකරුවන් අපරාධය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු හා වෙඩික්කරු වශයෙන් ක්‍රියාකල සැකකරුවන් බවට හෙළි වී ඇති අතර, වෙඩිතැබීමට යොදා ගත් පිස්තෝල අවිය, එම ජීව පතරොම් 10ක්, සැකකරුවන් පැමිණි යතුරුපැදිය හා ඔවුන් පැළඳ සිටි ආරක්ෂිත හිස්වැසුම් 02ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
තවද සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.