​ළමා නිවාසයක් තුළ දැරියක් කෘෘරත්වයට පත් කළ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

By Gagana News Feb 27, 2025 06:41 PM GMT
Report

ළමා නිවාසයක වයස අවුරුදු 17ක දැරියක් කෘෘරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි සැකකරුවෙක් සහ 57 හැවිරිදි සැකකාරියක් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ, අනුරාධපුර ප්‍රදේශයේ ළමා නිවාසයක අයතා ක්‍රියාකාරකම් සිදුවන බවට 2021 වර්ෂයේ ජනවාරි මස 08 වනදා මාධ්‍ය ඔස්සේ සිදුකළ අනාවරණයකට අනුවය.

ඒ සම්බන්ධයෙන් 2021.01.16 වනදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ලද පැමිණිල්ලක් මත අනුරාධපුර පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම පැමිණිල්ලට අනුව අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ළමා නිවාසයේ නේවාසික දැරියන්ගේ සහ උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරින්ගේ ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන සිදුකෙරුණි.

එහිදී අනාවරණය වූ තොරතුරු මත අධිකරණ නියෝග මත උපදේශන මධ්‍යස්ථානයක රඳවා සිටි වයස අවුරුදු 17ක දැරියක් ළමා නිවාසයක අරක්කැමි සේවයේ යොදවා කෘෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට විරුද්ධව ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා තිබුණි.

ඒ අනුව ඉහත වයස අවුරුදු 17ක දැරියගේ භාරය දරා සිටිමින් ඇය නොසලකා හැරීමෙන් සහ හිංසා කිරීමෙන් කෘෘරත්වයට පත් කිරීමේ වරදට සහ ළමා නිවාසයේ අරක්කැමි සේවයේ යොදවා ගැනීමේ වරදට උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව මඟින් උපදෙස් ලබාදුනි.

ඒ අනුව අද දින මෙම සැකකරු හා සැකකාරිය අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වන වාරියපොල ප්‍රදේශයේ සහ සැකකාරිය වයස අවුරුදු 57ක් වූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

මගනැගුම හිටපු නිලධාරීන් දෙදෙනෙකු තවදුරටත් රිමාන්ඩ්

මගනැගුම හිටපු නිලධාරීන් දෙදෙනෙකු තවදුරටත් රිමාන්ඩ්

ජනපතිට ජපානයෙන් ආරාධනයක්

ජනපතිට ජපානයෙන් ආරාධනයක්