හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කළොත් - ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් කිරීමට ට්‍රම්ප් සූදානමෙන්
ඉරානය සමඟ නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීම වෙනුවට, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම යළි විවෘත කිරීමට ටෙහෙරානය එකඟ වන්නේ නම් එය පිළිගෙන ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් විය හැකි බව වාර්තා වේ.
‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ වාර්තාවකට අනුව, මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය සති කිහිපයක සිට පසුබිම් සූදානම් කිරීම් සිදුකර ඇති අතර, නව න්‍යෂ්ටික ගිවිසුමක් ලබාගැනීමට නොහැකි වුවද ඉදිරි ක්‍රියාමාර්ගයකින් ඉවත් විය හැකි බව ට්‍රම්ප් සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයන් සමඟ පෞද්ගලිකව පවසා තිබේ.
ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා කොන්දේසි රැසක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අතර ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන ගණනක ගෙවීම්, ඇමෙරිකානු නාවික අවහිරය අවසන් කිරීම, කලාපයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කිරීම, සම්බාධක ඉවත් කිරීම සහ ඉරානයේ අත්හිටුවා ඇති වත්කම් නිදහස් කිරීම ඇතුළත් වේ.
මෙම කොන්දේසි හේතුවෙන් වොෂිංටනයට ඇති රාජ්‍යතාන්ත්‍රික විකල්ප සීමා වී ඇති බවත්, ඉරානය කඩිනම් එකඟතාවකට වඩා දිගුකාලීන ගැටුමකට සූදානම් වන බවක් පෙනී යන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
ඉරානය සහ ඕමානය අතර පිහිටි පටු මුහුදු මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකේ. එම මුහුදු මාර්ගයේ වාණිජ නෞකා ගමනාගමනයට බාධා එල්ල වීම ගෝලීය වෙළෙඳපොළට මෙන්ම ඉන්ධන මිල ගණන්වලටද දැඩි බලපෑමක් ඇති කළ හැකිය.
යුද්ධය ආරම්භ වීමෙන් පසු ඉරානය මෙම මුහුදු මාර්ගයේ ගමනාගමනය සීමා කර ඇති අතර, ඇමෙරිකානු සහ එහි මිත්‍ර රටවල යුද නෞකා සඳහා එම මාර්ගය භාවිත කිරීමට ඉඩ නොදෙන බවටද ප්‍රකාශ කර තිබේ.
වාණිජ නෞකා එම මාර්ගය භාවිත කිරීම වෙනුවෙන් ගෙවීම් ලබාගැනීමටද ඉරානය උත්සාහ කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඉරානය විසින් පනවා ඇති සීමා සහ ගාස්තු අයකිරීමේ උත්සාහයන් ඇමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇති බව ඇමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ සඳහන් කරයි.
මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘතව පවතින බව ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළද, එම ප්‍රකාශ සම්බන්ධයෙන් තවමත් මතභේද පවතින බව වාර්තා වේ.
ගැටුම ආරම්භ වීමට පෙර පැවති මට්ටමට සාපේක්ෂව ඇමෙරිකාවේ ඉන්ධන මිල ගණන් තවමත් ඉහළ මට්ටමක පවතින අතර, ඉදිරි මධ්‍යවාර මැතිවරණය ආසන්න වීමත් සමඟ හමුදා මෙහෙයුමෙන් තම පරිපාලනය ලබාගත් ප්‍රතිඵල ඇමෙරිකානු ජනතාවට පෙන්වාදීමේ පීඩනයකටද ට්‍රම්ප් මුහුණ දෙමින් සිටින බව වාර්තාවේ දැක්වේ.