ලෝක බලවතා ලෙඩින්..80 වියට පා තබන ට්‍රම්ප්ගේ සෞඛ්‍ය බරපතළ තත්ත්වයක බවට ලෝකෙටම සැකයක්

Report

එළඹෙන ජුනි 14 වැනි දින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබන පුවතත් සමඟ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ කුතුහලය, උනන්දුව වැඩි වෙමින් ඇති ආකාරයක් වාර්තා වේ.

මේ අතර අමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපති ධුරයට පත් වියපත්ම පුද්ගලයා වශයෙන් ද ට්‍රම්ප් වාර්තාවක් පිහිටුවා ඇත.

එමෙන්ම ඉකුත් 2025 ජනවාරි 20 වැනි දින ඔහු සිය දෙවැනි ධුර කාලය වෙනුවෙන් දිව්රුම් දෙන විට ඔහුගේ වයස අවුරුදු 78 කුත් දවස් 220 ක් වූ බව සඳහන්.

ඔහුට පෙර අඳාළ වාර්තාවට හිමිකම් කීවේ ජෝ බයිඩ්න් හිටපු ජනාධිපතිවරයායි.

ඔහු 2021 ජනවාරි 20 වැනි දින ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන විට ඔහුගේ වයස අවුරුදු 78 කුත් දින 61 ක් විය.

කෙසේ වෙතත් මේ දිනවල ජනාධිපති ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය තුළ යම් කතාබහක් ඇති වීමට හේතුව ලෙස දැක්වෙන්නේ ඔහු වෛද්‍ය පරීක්ෂාවකට ඉකුත් සතියේ වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ඇති බව වාර්තා වීමත් සමඟයි.

අමෙරිකාවේ ජනාධිපතිවරුන් විශේෂිත වෛද්‍ය පරීක්ෂාවන් වෙනුවෙන් මේරිලන්ඩ් හි පිහිටි වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට යන බව සඳහන්. ඒ අනුව ඉකුත් අඟහරුවාදා දින ට්‍රම්ප් ඔහුගේ වෛද්‍ය පරීක්ෂාව සඳහා එහි ගොස් ඇති බව වාර්තා වේ.

ලෝක බලවතා ලෙඩින්..80 වියට පා තබන ට්‍රම්ප්ගේ සෞඛ්‍ය බරපතළ තත්ත්වයක බවට ලෝකෙටම සැකයක් | Trump Health Concerns Under Scrutiny

එසේම එය මාස 13 ක් තුළ ඔහු පෙනී සිටි තුන්වැනි වෛද්‍ය පරීක්ෂාව ද වේ. මේ අතර ඔහුගේ දෙවැනි ධුර කාලය පටන් ගැනීමෙන් පසුව මේ වනවිට ඔහු සිව් වතාවක් වෛද්‍ය පරීක්ෂාවන්ට පෙනී සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ට්‍රම්ප් නිතර වෝල්ටර් රීඩ් මධ්‍යස්ථානය වෙත යාම බොහෝ පාර්ශ්ව තුළ යම් කුතුහලයක් ඇති කර ඇති අතර ඔහු කිසියම් බරපතළ රෝග තත්ත්වයකින් පෙළෙනවා ද යන සැකය ඇතැමුන් තුළ මතුව තිබෙන බව ද සඳහන්.

මේ අතර ට්‍රම්ප්ගේ සෞඛ්‍යයට සම්බන්ධ ඇතැම් කාරණා ගැන අවධානයක් යොමු වෙමින් පවතින පසුබිමක, ඔහුගේ පාදවල වළලුකර ආසන්නයේ ඉදිමීමක් සහ අත්වල පිටිඅල්ල පැත්තේ කිසියම් පැල්ලම් වැනි යමක් දැකිය හැකි බව වාර්තා වේ.

එසේම මෙම අත්වල පැල්ලම් මුලින්ම මාධ්‍යවේදීන්ගේ අවධානයට හසුව ඇත්තේ 2025 පෙබරවාරි මාසයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඇමරිකාවේ නිල සංචාරයක යෙදුණු අවස්ථාවේ දී බව සඳහන්.

එහිදී ට්‍රම්ප් ඔහුට අතට අත දෙන විට මෙම පැල්ලම් මාධ්‍යවේදීන්ගේ කැමරාවලට හසුව තිබෙන බව සඳහන්. මේ අතර ඔහුගේ පාදවල ඉදිමීම ගැන මුල් වරට මාධ්‍ය තුළ පළ වූයේ ඉකුත් වසරේ ජුලි මාසයේ දීයි.

ධවල මන්දිරයේ පැවති කිසියම් අවස්ථාවක් අතරතුර ගත් ඡායාරූපවල මේ බව සටහන් විය. එහිදී අතේ පැල්ලම් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ධවල මන්දිරය සහ ට්‍රම්ප් සඳහන් කළේ අධික වශයෙන් ඇස්පිරින් භාවිත කිරීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බව යි.

රුධිරය තුනී කර කැටි ගැසීම වැළැක්වීමට සහ හෘදයාබාධ වැළැක්වීමට ඇස්පිරින් භාවිත කරන අතර රුධිරය මේ ආකාරයෙන් තුනී වීම හේතුවෙන් සම මතුපිට ඇතිවන සුළු තෙරපුමකින් පවා රුධිරය සිහින් රුධිර නාළිකාවලින් පිටතට කාන්දු වීමට හැකි වේ.

එබැවින් ට්‍රම්ප්ගේ අතක දක්නට ලැබුණේ මේ ආකාරයෙන් කාන්දු වූ රුධිරය හේතුවෙන් හටගත් පැල්ලම් බව සඳහන්. එයට තවත් හේතුවක් නම් ඔහු නිතර අතට අත දීම‍යි. මේ අතර පාදවල ඉදිමුමට හේතුව ලෙස දක්වා ඇත්තේ chronic venous insufficiency නම් තත්ත්වයයි.

එය වියපත් පුද්ගලයන් තුළ සුලභව දැකිය හැකි තත්ත්වයක් වශයෙන් සැලකෙන අතර කෙටියෙන් කිවහොත් මෙහි දී සිදුවන්නේ හෘදය වස්තුවේ සිට පාද දක්වා ගමන් කරන රුධිරය ආපසු හෘදය වස්තුව දක්වා ඒමේ දී අවහිරයකට මුහුණ දීමයි.

එබැවින් එම රුධිරය පාදවල සිරවීමෙන් ඉදිමුමක් හට ගන්නා අතර කෙනෙකු වයසට යාමේ දී මෙම තත්වය හටගන්නේ නහර දුර්වල වීම හේතුවෙන් බව සඳහන්. කෙසේ වෙතත් ඉහත කී තත්වයන්ට අමතරව ඉකුත් මාර්තු මාසයේ ද තවත් කාරණයක් ගැන මාධ්‍ය අවධානයක් යොමුව තිබුණා. ඒ ට්‍රම්ප්ගේ බෙල්ලේ දකුණු පැත්තේ දක්නට ලැබුණු රතු පැහැති පැල්ලමයි.

එය දදයක් සේ දිස් වූ අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වන ෂෝන් බාර්බබෙලා පවසා ඇත්තේ මෙය සමේ ආලේප කරන ක්‍රීම් වර්ගයක් හේතුවෙන් ඇති වූවක් බවටයි.

එහෙත් අඳාළ ක්‍රීම් වර්ගය බෙල්ලෙහි ආලේප කරන්නේ කුමක් නිසා ද යන්න ඔහු පැහැදිලි කර නොමැත. එමෙන්ම ධවල මන්දිර නිලධාරීන් සහ ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළ ඇතැම් කරුණු සඟවනවා ද සම්බන්ධයෙන් සැකයක් ද මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ ඇති වී තිබෙන බව සඳහන්.

ඉකුත් සතියේ ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂාවට මුහුණ දීමෙන් අනතුරුව ධවල මන්දිරය ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රමාද වීමත් ඉහත කී සැක සංකා තීව්‍ර කිරීමට හේතු විය.

ඒ අනුව ට්‍රම්ප් වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් තිබුණේ අඟහරුවාදා වුවද අඳාළ නිල නිවේදනය නිකුත් කර තිබුණේ ඉන් දින තුනකට පසුවයි.

ලෝක බලවතා ලෙඩින්..80 වියට පා තබන ට්‍රම්ප්ගේ සෞඛ්‍ය බරපතළ තත්ත්වයක බවට ලෝකෙටම සැකයක් | Trump Health Concerns Under Scrutiny

සාමාන්‍ය රුධිර පරීක්ෂණ ආදිය කිරීමට පහසුකම් ධවල මන්දිරයේ ඇති අතර වෝල්ටර් රීඩ් මධ්‍යස්ථානයට යන්නේ එම්.ආර්.අයි. පරීක්ෂණ, හෘද ක්‍රියාකාරිත්වයට අදාළ පරීක්ෂණ, ස්නායු සම්බන්ධ පරීක්ෂණ වැනි විශේෂිත වෛද්‍ය පරීක්ෂණ සඳහා බව වාර්තාස් වේ.

ඒ අනුව අඟහරුවාදා ට්‍රම්ප් පැය තුනකට ආසන්න කාලයක් වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ගතකර තිබෙනවා.

අනතුරුව ඔහු සිය Truth Social සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් පළ කර ඇත. ඒ වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල ඉතා යහපත් බව පවසමින්.

ඉක්මන් නිවේදනයක් නිකුත් කරන බවට ධවල මන්දිරය එහිදී සඳහන් කළත් ඔවුන් එම නිවේදනය නිකුත් කළේ දින තුනකට පසු එනම් සිකුරාදා දිනයි.

එවැනි තත්ත්වයක ධවල මන්දිරයේ නිවේදනවල විනිවිදභාවය ගැන සැක මතු වී ඇත.

කෙසේ වුවද ධවල මන්දිර වෛද්‍යවරයාගේ නිල නිවේදනයේ දැක්වෙන්නේ ට්‍රම්ප් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. තවද ඉහළ මට්ටමේ රැස්වීම් අතරතුර පවා ට්‍රම්ප් කිසියම් විඩාපත් බවක් පළ කිරීම සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමුව ඇත.

එසේම එම රැස්වීම් අතරතුර ඔහු අසාමාන්‍ය තරම් දිගු වේලාවන් ඇස් පියාගෙන සිටීම වැනි කාරණා යම් කුතුහලයක් ජනිත කිරීමට හේතු වී තිබෙනවා. මේ අතර මාධ්‍ය තුළ ජනාධිපතිවරයා රාත්‍රියට නින්ද නොයාමේ රෝගයකින් පෙළෙනවාද යන ප්‍රශ්නය ද නිතර දක්නට ලැබේ.

ඒ අනුව ඔහු රාත්‍රි එකට දෙකට පවා ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවල පෝස්ටු පළ කිරීම ද මේ ප්‍රශ්නය සාධාරණීකරණය කිරීමට දායක වී ඇත. එයට හේතුව අවුරුදු 80 ක කෙනෙකු මේ ආකාරයෙන් නිදි වැරීම බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කළ හැක්කක් වීමයි.

එසේම ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම මානසික ලෙස ද විශාල බලපෑමක් කරන්නක් බව රහසක් නොවන අතර අවධානය යොමු කිරීමේ හැකියාව, මතක ශක්තිය, පැහැදිලි තීරණ ගැනීමේ හැකියාව වැනි කාරණාවලට ද එය දැඩිව බලපාන බව සඳහන්.

කෙසේ වෙතත් ට්‍රම්ප් මහ රෑත් අවදිව වැඩ කිරීම ඔහුගේ ඇතැම් පාක්ෂිකයන් දකින්නේ ඔහු තුළ ඇති ශක්තිය සහ කැපවීම පිළිබිඹු කරන්නක් ලෙසයි.

එහෙත් වෛද්‍ය විශේෂඥයන් සහ දේශපාලන විචාරකයන් වැනි උදවිය මේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත නොකරන බව දක්නට ලැබේ.