මැදපෙරදිග යුද්ධය නවත්වන්න ට්‍රම්ප් කෙළින්ම මැදට පනියි - ඊශ්‍රායලයට දුන් දැඩි පණිවිඩය මෙන්න
ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති නවතම මිසයිල ප්‍රහාර හුවමාරුව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය උණුසුම් වී ඇති අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ ඉරානයට එරෙහිව තවදුරටත් ප්‍රතිප්‍රහාර දියත් කිරීමෙන් වැළකෙන ලෙසයි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඉරානය සහ ඊශ්‍රායලය දෙපාර්ශ්වයම ප්‍රහාර එල්ල කර ඇති නමුත් ගැටුම තවදුරටත් ව්‍යාප්ත වීම තමන් අපේක්ෂා නොකරන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ සෘජුව සම්බන්ධ වී පළිගැනීමේ ප්‍රහාර නවතා දමන ලෙස ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කර ඇත.
වාර්තා වන අන්දමට, සටන් විරාම තත්ත්වයක් පැවති අවස්ථාවක ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානයද ප්‍රහාර දියත් කර තිබේ.
ඉරාන ප්‍රහාරවලින් අනතුරුව, ආරක්ෂක හේතූන් මත ගාසා තීරය ආශ්රිත හරස් මාර්ග කිහිපයක් වසා දැමීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගෙන ඇත.
වර්ධනය වෙමින් පවතින ආරක්ෂක අවදානම සැලකිල්ලට ගනිමින් ජෙරුසලමේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කටයුතු තාවකාලිකව සීමා කර ඇති අතර, එහි සේවකයන්ට අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යාමට සූදානම් වන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
මේ අතර, ඉරානය සමඟ අමෙරිකාව සිදුකරන සාකච්ඡාවල අවසන් එකඟතාවකට පැමිණීමට ඉතා ආසන්න බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
එම ගිවිසුම දෙපාර්ශ්වයටම වාසිදායක එකක් වන බව පෙන්වා දුන් ඔහු, වත්මන් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එම ප්රයත්නය අසාර්ථක වීම තමන් අපේක්ෂා නොකරන බවද අවධාරණය කර ඇත.